Isivara Vedanena

Isivara Vedanena

දේශීය වෛද්‍ය ක්‍රමයේ අභිවෘද්ධිය හා ල? මෙම පිටුව මගින් දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ දැනුම සොයා යන්නන්ට දැනුම ලැබේවි.... පර්යේෂකයන්ට නව මාවත් විවර වේවි....

30/06/2024

සාම්ප්‍රදායික වෙදකම අවිද්‍යාත්මක යැයි බැහැර කරන්නන්ට සහ
ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය පහත් කොට සලකන ව්‍යාජ හෙළ වෛද්‍යවරුන්ට පිළිතුරක්.....

මෙරට අතීත දේශීය වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය හා සිංහල සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළ ද වර්තමාන හෙළ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් කට මැත දොඩන බහුතරයක් මේ දෙඅංශය ගැනම නිසි අවබෝධයක් හෝ දැනුමක් ලබා නොමැති බව තතු දත්තෝ දනිති.

‘හෙළ වෙදකම’ යන නාමය අද වානිජකරණයට හසුව ඇත. ව්‍යාජ හෙළ වෙදුන් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට නිගා කරනුයේ එහෙන් මෙහෙන් අහුලා ගත් වට්ටෝරු කිහිපයකින් තමන්ගේ මඩිය තරකර ගනිමිනි. එයින් පරිහානියට පත් වන්නේ සිංහල සාම්ප්‍රදායික වෙදකමේ කීර්ති නාමයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව මගින් රටක සෞඛ්‍ය පද්ධතිය තුළ වඩා අර්ථවත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. මේ වන විට ලෝක ජනගහනයෙන් 60% ක් පමණ වෛකල්ප වෛද්‍ය ක්‍රම භාවිත කරයි.

නව්‍ය වෛද්‍ය ක්‍රමයේ භාවිතයෙන් දුරස්ව, අනුපූරක සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම භාවිතය කෙරෙහි මහජන උනන්දුව වර්ධනය වීමට, අතුරු ආබාධ වැඩි වීම, නිදන්ගත රෝග කිහිපයක් සඳහා රෝග නිවාරණ ප්‍රතිකර්ම නොමැති වීම, නව ඖෂධ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වීම, ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය සහ මතු වන නව රෝග ඊට බලපෑ හේතු ලෙස හඳුනා ගෙන ඇත. මේ වන විට එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ගෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් විකල්ප වෛද්‍ය ක්‍රම භාවිතය සඳහා තම රෝගීන් යොමු කිරීම සිදු කරයි.

‘සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව’ යන්නට ‍මෙම ක්ෂේත්‍රයේ විද්වතුන් සහ පර්යේෂකයන් භාවිත කරන පර්යාය නාම ගණනාවක් ඇති අතර ඊට ‘දේශීය වෛද්‍ය විද්‍යාව (Native/ Indigenous/ Local/ Traditional Medicine)’, ‘අනුපූරක වෛද්‍ය විද්‍යාව (Complementary Medicine)’, ‘ඌනපූරක/ අතිරේක වෛද්‍ය විද්‍යාව (Supplementary Medicine)’, ආදිවාසී වෛද්‍ය විද්‍යාව (Aboriginal Medicine), වෛකල්පික වෛද්‍ය විද්‍යාව (Alternative Medicine), ස්වභාවික වෛද්‍ය විද්‍යාව (Natural Medicine), ශාකසාර වෛද්‍ය විද්‍යාව (Herbal/ Phyto Medicine), ජන වෛද්‍ය විද්‍යාව (Folk Medicine), මානව වෛද්‍ය විද්‍යාව (Ethno-Medicine) යන විෂයයන් සියල්ල ම අන්තර්ගත වේ.

ශ්‍රී ලංකාවේ මුල් වෛද්‍ය ඉතිහාසය පුරාවෘත්තවල බහුලව දක්නට ලැබෙන බව ත්, දිවයිනේ ප්‍රාග් ඓතිහාසික පාලකයකු වූ රාවණ නම් යක්ෂ රජු, බහුකාර්ය වෛද්‍යවරයෙකු බව ත්, ඔහු ජන වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවය ලත් පවුලකින් පැවත එන බවත් ආරියදාස කුමාරසිංහ මහතා (1962) පවසයි. එසේ වුව ද, රාවණ කෘත ග්‍රන්ථ ලෙස සැලකෙන අර්ක ප්‍රකාශය, කුමාර තන්ත්‍රය, නාඩි විඥානය, උඩ්ඩීස තන්ත්‍රය 11 වන සියවසේ දී සහ 16 වන සියවසෙහි දී භාරතයෙන් මතු වීම ගැටළු සහගත ය. (මුල් අයිතිකරුවන්ට ඒවා සුරක්ෂිත කිරීමට නොහැකි වූයේ ඇයි?) සංස්කෘතයට නැගුණු එම ග්‍රන්ථ අතරින් කුමාර තන්ත්‍රය රචනා වී ඇත්තේ රාවණ රජු හා මන්දෝදරී බිසව අතර සිදු වූ සංවාදයක ස්වරූපයෙනි.

හින්දු සාහිත්‍යයට අනුව, බ්‍රහ්මගේ මනසින් උපන් පුත්, පුලස්ති මහඍෂි ප්‍රජාපතීවරු සත් දෙනාගෙන් සිව්වැන්නා ය. දස හිස් සහිත ලංකාපති රාවණ රජු ගේ පියා වන විශ්‍රවස් මුනි පුලස්ති මහඍෂි ගේ පුත්‍රයා වේ. එසේම, පළමු මනුඅන්තරයෙහි අධිපතිත්වය දැරූ මහඍෂි සප්තකයට ඇතුළත් පුලස්ති මහඍෂි, ස්වයංභූ ඥානය සහිත ‘බ්‍රහ්ම’ ගේ අධ්‍යාත්මික පුත්‍රයෙකි. මහා භාරත වීර කාව්‍යයට අනුව, සියළු රාක්ෂසයන් පුලස්ති මහඍෂිගෙන් පැවත එන්නෝ ය (මභා. 1.59).

පූර්ව වෛදික යුගයේ අවසානය මෙන්ම වෛදික යුගයේ ආරම්භය නියෝජනය කරන පළමු වේද ග්‍රන්ථය වන ඍග් වේදයට (III.62, 10) අනුව, ‘ජීවයේ පරිණාමය’ සඳහා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන සූර්යයාට කෘතඥතාවය පළ කරනු වස් නිර්මිත ‘ගායත්‍රී මන්ත්‍රය’ විශ්‍රවස් මුනිතුමන්ගේ (මහා රාවණයන්ගේ පියාගේ) දේශනයකි. (ජීවයේ පැවැත්ම හා සූර්යයාගේ කාර්යභාරය සංක්ෂිප්තව දක්වා ඇත.)

මෙහිදී තවත් වැදගත් කාරණයක් සිහිපත් කළ යුතුව ඇත. භූවිද්‍යාත්මකව ලංකාව වෙන් වන තෙක් ලංකාව, භාරතයේම කොටසක්ව පැවති බව. හිමාලයානු කලාපයේ ජනතාව පිළිබඳ අධ්‍යයනය කළ ගවේෂකයන්ට අනුව, අංගීරස, අත්‍රි, වශිෂ්ට, කාශ්‍යප, අගස්ති, පුලස්ති, අසිත, වාමදේව, ගෞතම, මනූ වැනි ශ්‍රේෂ්ඨ ඍෂිවරු මිනිස් සංහතියේ සුභසාධනය උදෙසා හිමාල කඳුවැටියේ උස්බිම්වල භාවනා කළ බවත්, දේව, නාග, ගාන්ධර්ව, කින්නර සහ යක්ෂ නමින් වංශ පහක වැසියන් Garhwal හිමාලය සිට Zanskar කලාපය දක්වා වාසය කළ බවත්, ඔවුන් ‘පංච ජනයා’ ලෙස නම් කළ බවත්, දේව, නාග සහ යක්ෂයන් ඔවුන්ගේ දැනුම, ධෛර්යය සහ පොහොසත් සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධ බවත්, භාවනාවෙන් ලබාගත් ප්‍රඥා සම්පත්තිය තුළින් අඛණ්ඩව සිදු කළ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සතුව උත්තරීතර මානව බලයක් තිබූ බවත් සඳහන් වේ. (හිමාලයේ සිට පහළට නැගෙනහිර භාරත කලාපයේ ඉන්දීය ආදීවාසී ජන කොට්ඨාශ බොහොමයක් අදටත් වාසය කරයි.) ජනශ්‍රැතික මූලාශ්‍රයන්ට අනුව, මෙරට ආදි වාසී සිව් හෙළයන් ලෙස හැඳින්වෙන්නේ ද යක්ෂ- දේව- නාග- ගාන්ධර්වයන් ය.

පුරාවිද්‍යාත්මක හා පුරාවෘත්ත අධ්‍යයනවලින් හෙළි වන්නේ, ශ්‍රී ලංකාවෙහි ආදි මානවයා ගේ පළමු සංඥාව වසර 1,75,000 ක් පමණ අතීතයට දිව යන බව ය. නාසා ආයතනයේ චන්ද්‍රිකා ඡායා දත්ත අනුව, රාමා සේතු පාලම මානව නිර්මාණයක් බව ත්, එහි ඉඳි කිරීම් සඳහා භාවිත කර ඇති අමුද්‍රව්‍යවල කාබනික වයස වසර මිලියන 1.5 ක් පමණ වන බව ත් කියැවේ.

තවද, භාරත ඉතිහාස ගවේෂකයන් දක්වන අන්දමට, පසුකාලීනව නිර්මාණය වූ රාමායණය, මහා භාරතය යන වීර කාව්‍යයන් පුරාණ, සහ වෙනත් ඊනියා ‘පූජනීය පොත්’ මගින් ආදිවාසීන්ව, අශිෂ්ට හෝ උප-මනුෂ්‍යයන් හෝ මිනිසුන් නොවන අය ලෙස නිරූපණය කිරීමට විවිධ යෙදුම් භාවිතා කර ඇති බවයි (උදා: රාක්ෂස (රාක්ෂයන්/ භූතයන්), වානර (වඳුරන්), නාග (සර්පයන්), භූසුන්ඩි කාක, ගරුඩ යනාදිය.)

අද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, ලොව ඇති සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම අතරින් වඩාත්ම පැරණි නමුත් උසස් දාර්ශනික, අනුභූතිමය සහ පර්යේෂණාත්මක පදනමක් සහිත (පවතින ලිඛිත සාක්ෂි පදනම් කරගෙන) ජීවමාන මහා සම්පදායයන් දෙක ලෙස පිළිගෙන ඇත්තේ, සාම්ප්‍රදායික ඉන්දියානු වෛද්‍ය විද්‍යාව ලෙස හඳුනා ගත් ‘ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය’ සහ ‘සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව’ ය.

ක්‍රි.පූ. 1000-800 කාලයේ දී ආරම්භ වූවා යැයි සැලකෙන භාරත තක්ෂිලා විශ්ව විද්‍යාලය මගින් සිදු වූ පළමු පර්යේෂණය ලෙස සැලකෙනුයේ ව්‍යාකරණ රීති යටතේ පරිපූර්ණ ශබ්ද විද්‍යාත්මක අක්ෂර මාලාවක් නිර්මාණය කිරීම යි. එය ‘නාගරී අක්ෂර මාලාව’ යි. එතෙක් වාචිකව ගීතිකා ස්වරූපයෙන් පරපුරෙන් පරපුරට රැගෙන ආ ‘ශ්‍රැති ඍග් වේදය’ (ක්‍රි.පූ.1750-1500) ඇතුළු චතුර් වේදය (දැනුම) ග්‍රන්ථගත කර සුරක්ෂිත කිරීම සඳහා ඒ වන විටත් (පූර්ව වෛදික යුගයෙහි) භාරතීයයන් භාවිත කළ භාෂාව මූලය කර ගනිමින්, නිර්මිත නව භාෂාව ‘වෛදික සංස්කෘත’ ලෙස හැඳින් වේ.

ඍග් වේදය පළමුව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ මහාචාර්ය විල්සන් මහතා පවසනුයේ, ‘ආර්ය සහ හරප්පා ශිෂ්ටාචාරය සමකාලීන නාගරික හා ග්‍රාමීය රටාවන් පිළිබිඹු කරන බව’යි. මුල් වෛදික සාහිත්‍යය මගින් විස්තර වන්නේ, ‘මානව ආක්‍රමණයක් නොව ආදිවාසී සමාජයේ මූලධර්ම ප්‍රතිව්‍යුහගත කිරීමක් බව’ට, වෛදික සාහිත්‍ය හා ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ David Frawley පවසයි.

නවීන පර්යේෂණ අධ්‍යයනයන්ට අනුව, විවිධ විෂයය ක්ෂේත්‍ර 68 ක් පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයන්හි නිරත වූ තක්ෂිලාවෙහි, ‘ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රීය පර්යේෂණ අංශයේ නිර්මාතෘ පුනර්වාසු ආත්‍රෙය මුනිවරයා’ (ක්‍රි.පූ. 800-700), එවකට ගන්ධාර රජු ගේ රාජ වෛද්‍යවරයා බව ද සඳහන් වේ. ඔහු ගේ ශිෂ්‍යයන් වන අග්නිවේශ, භේල, පරාසර ආදීහු ද, පසුව අග්නිවේශයන්ගේ ශිෂ්‍යයන් වන චරක, දෘඪබල ද, ජීවක වෛද්‍යවරයා ද එම විශ්ව විද්‍යාලයෙන් පෝෂණය වූවෝ ය. එසේ ම චරක ආචාර්යවරයා බෞද්ධ රජෙකු වන කනිෂ්ක රජු ගේ (ක්‍රි.පූ. 125-150) රාජ වෛද්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත. අග්නිවේශ ආචාර්යවරයා රචනා කරන ලද ‘අග්නිවේශ තන්ත්‍රය’ (ක්‍රි.පූ. 800-700) පසුකාලීනව චරක රාජ වෛද්‍යවරයා විසින් ‘චරක සංහිතාව’ නමින් සංස්කරණය කරන ලදී.

ගණනාථ සෙන් පවසන පරිදි තක්ෂිලාවෙහි සංස්කෘත භාෂා විශාරදයකු වූ පානිනී මුනිවරයා (තක්ෂිලාවේ ආරම්භකයන් අතර සිටි අයෙකි) නාඩි පරීක්ෂාවෙහි, පංච කර්ම චික්ත්සාවෙහි හා ශල්‍ය චිකිත්සාවෙහි විශේෂඥයෙකි. එසේම මර්ම විඥානය අනුව චිකිත්සා කිරීමෙහි ප්‍රවීනයෙකි.
විදේශීය පහරදීම් හේතුවෙන් ක්‍රි.ව. 450 දී පමණ තක්ෂිලා විශ්ව විද්‍යාලය පූර්ණ ලෙස බිඳ වැටුණු අතර වාරානසී අධ්‍යාපනික ආයතනය ආයුර්වේද ශාස්ත්‍රීය පර්යේෂණාත්මක අධ්‍යයනය සඳහා විවෘත වූ බව සඳහන් වේ. එහි නිර්මාතෘ දිවෝදාස් ධන්වන්තරී රජු හෙවත් කාශිරාජ් ධන්වන්තරී (තක්ෂිලාවෙහි ශිෂ්‍යයෙක් ලෙසත් සැලකේ), ශල්‍ය වෛද්‍ය විද්‍යාවෙහි මහාචාර්යවරයෙක් වන අතර ඔහු‍ ගේ විශිෂ්ටතම ශිෂ්‍ය පුත්‍ර, ‘සුශ්‍රැත සංහිතා’ නිර්මාතෘ, සුශ්‍රැත ආචාර්යවරයා ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකි.

නවීන පර්යේෂණයන්ට අනුව, චරක ආචාර්යවරයාගේ කාලය ක්‍රි.පූ.100 පමණ වන අතර සුශ්‍රැත ආචාර්යවරයා ක්‍රි.ව. 200 ත් 500 ත් අතර කාලයක ජීවත් වන්නට ඇතැයි ඉන්දීය ජාතික විද්‍යා ආයතනය විසින් පිළිගනු ලබයි. කෙසේ වෙතත් සුශ්‍රැත නාමය ක්‍රි.පූ. 800 සිට විවිධ ග්‍රන්ථවල සඳහන්ව ඇති අතර සම්මත පිළිගැනීමට අනුව, සුශ්‍රැත ආචාර්යවරයා ක්‍රි.පූ. 600 විසූ අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි.

චරක සංහිතාව (අග්නිවේශ තන්ත්‍රයෙහි සංස්කරණයකි), සුශ්‍රැත සංහිතාව හා වාග්භට සංහිතාව යන සංස්කෘතයෙන් රචිත, ග්‍රන්ථ ත්‍රිත්වය ආයුර්වේද මූලග්‍රන්ථ ලෙස ගෞරවාදර පිළිගැනීම යි. එහි කාය චිකිත්සා, කෞමාර භෘත්‍ය තන්ත්‍රය (ළමා සෞඛ්‍ය කළමනාකරණය), ප්‍රසව හා නාරිවේදය, ශල්‍ය තන්ත්‍රය, ශාලාක්‍ය තන්ත්‍රය (දසරුවෙන් ඉහළ සියළු රෝග කළමනාකරණය), අගද තන්ත්‍රය (විෂ වෛද්‍ය විඥානය), භූත විද්‍යා, රසායන හා වාජීකරණ තන්ත්‍ර වශයෙන් අංග අටක් දක්වා ඇති අතර ස්වස්ථවෘත, සද්වෘත, ඍතු චර්යා, දින චර්යා, රචනා ශරීර විඥානය (Anatomy), ක්‍රියා ශරීර විඥනය (Physiology), රෝග නිදාන, සම්ප්‍රාප්ති, පූර්ව රූප, රූප, චිකිත්සා විධි ක්‍රම (පංච කර්ම, අග්නි කර්ම ඇතුළු ක්‍රම රැසක්), ඖෂධවේදය, භේසජ්ජ කල්පනා, යන්ත්‍ර හා ශස්ත්‍ර, මර්ම විඥානය යනාදී සෛද්ධාන්තික හා ප්‍රායෝගික භාවිතයන් ගද්‍ය හා පද්‍ය ස්වරූපයෙන් දක්වා ඇත. (මූලධර්ම සඳහා වැඩි ඉඩක් දී ඇත).

දැනට හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, මෙරට විජයාවතරණයට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයා ප්‍රඥාවන්තයෙකි. එය එසේ නම් දියුණු වෛද්‍ය ක්‍රමයක් ද තිබිය යුතුයි. එහෙත් අද වන විට සාම්ප්‍රදායික සිංහල වෙදකම වට්ටෝරු වෙදකමක් බවට නැතහොත් චූල සම්ප්‍රදායයක් බවට පත්ව ඇත්තේ කෙසේ ද?? භාරතීයයන් තමන්ගේ පෞරාණික ශාස්ත්‍රීය ලේඛනයන් සුරක්ෂිතව රැක ගනිද්දී, සමෘද්ධිමත් හා බුද්ධිමත් මානවයන්ගෙන් යුතු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන අප ඊට සමත් වූවා ද??

තත්ත්වය එසේ තිබියදී, මෙරටට ආවේණික අතිවිශිෂ්ට ඖෂධ ප්‍රයෝග රැසක් සුරක්ෂා කරමින් නිහඬ සේවයක යෙදෙන සත්‍ය පාරම්පරික වෛද්‍යවරුන්ට හිස නමා ආචාර කරමි. ලිපිය දීර්ඝ වන බැවින් මෙතැනින් නවතිමි. විද්වත් සංවාදයකට විවෘතයි..

සත්‍ය පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට නිගා නොකරන්නේ මන්දැයි මෙම ලිපිය අවසානයේ ඔබටම වැටහේවි. එසේ ම මෙම ලිපිය කිසිදු පාර්ශ්වයක් අවතක්සේරු කිරීමට ලියන ලද්දක් නොවන බවත් කිව යුතුය. තවමත් නොවිසඳුනු ගැටළු රාශියක් ඇති බව ද සිහියෙන් මෙම ලිපිය කියවන ඔබට වැටහේවි.

වෛද්‍ය දර්ශනී දිසානායක. 2020 ඔක්තොබර්

01/07/2023
Photos from Isivara Vedanena's post 15/06/2022

අනුරාධපුර දිස්ත්‍රික්කය
ලියාපදිංචි පාරම්පරික වෛද්‍ය නාමලේඛනය

(මෙහි පිළිවෙළින් අනු අංකය, රජයේ ලියාපදිංචි අංකය, වෛද්‍ය නාමය, ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති ලිපිනය සහ දුරකථන අංක සඳහන්ව ඇති බව සලකන්න)

23/05/2022

පණු රෝග වලින් ආරක්ෂා වීමට සරල ආහාර.

Want your practice to be the top-listed Clinic in Gampaha?
Click here to claim your Sponsored Listing.

ආරෝග්‍යා පරමා ලාභා

ශාරීරික මානසික අධ්‍යාත්මික සුවය පතන්නවුන්ටයි මේ ආරාධනය......

Website