Nipuna Kiriella

Nipuna Kiriella

I'm writing for a better tomorrow...

02/04/2023

රටක ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන බල ශක්තිය එම රට තුලම අවම වියදමකින්, පහසුවෙන් හා අඛණ්ඩව උත්පාදය කිරීමට වඩාත් සුදුසු බල ශක්ති ප්‍රභවයන් හඳුනාගෙන එයින් බල ශක්තිය උත්පාදනයට අවශ්‍ය කරන තාක්ෂණයන් විමසා බලා ඒවා භාවිතයට කටයුතු කිරීම වගේම රටේ තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම රටේ ආර්ථිකය ඉහළ නැංවිමට පිටිවහලක් වෙනවා...

අපේ රටේ ප්‍රධාන බල ශක්ති ප්‍රභවයක් ලෙස ආනයනික ඛණිජ තෙල් බහුලව භාවිතා කිරීමට නැඹුරුවීම රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට අවදානමක් ගැනීම ලෙස දැකිය හැක... මන්ද එය අපේ රටට පමණක් නොව ලෝකයටම සීමා සහිත බල ශක්ති ප්‍රභවයක් බැවින් හා එය අපේ රටේ ජාත්‍යන්තර සංචිතවලට බලපෑම් කරන බැවින්...

නමුත් අපේ රටේ භූ ගෝලීය පිහිටීම අනුව සූර්යය ශක්තිය ප්‍රධාන බල ශක්ති ප්‍රභවය ලෙස යොදාගැනීම රටේ අනාගතයට වඩාත් යෝග්‍ය වේ... මන්ද වසරේ සෑම දිනකම අපේ මව් බිමට හොඳින් සූර්යාලෝකය පතිත වෙන නිසා... දැනට ලෝකයේ සූර්ය කිරණ විදුලියට හැරවීමට යොදා ගන්න තාක්ෂණික මෙවලමක් වන සූර්ය පැනල (solar panel) මේ සඳහා භාවිතා කළ හැක... එසේම සූර්ය පැනල හා සූර්ය විදුලිය ගබඩා කරන සූර්ය කෝෂ (solar battery) රට තුලම නිෂ්පාදනය කිරීම ඇරඹීම තුලින් ඒවා අඩු වියදමකින් අපේ රටවැසියාට ලබාදීමටත් අපනයනය තුලින් විදේශ විනිමය ඉපැයීමටත් හැකිවනු ඇත. තවද සූර්ය විදුලියෙන් ක්‍රියා කරන නව නිපැයුම් ලොවට හඳුන්වා දී ඒ ඔස්සේ අපේ රටට විදේශ විනිමය ගලා ඒමට සැලැස්විය හැක... උදාහරණයක් ලෙස ඩීසල් හෝ පෙට්‍රල්වලින් දුවන වාහනයක් අඩු වියදමකින් සූර්ය විදුලියෙන් දුවන වාහනයක් බවට හරවන්න ක්‍රමයක් සොයාගන්න පුළුවන් නම් ඒක ලෝකේ ඛනිජ තෙල් අර්බුදයට හොඳ විසඳුමක් වේවි...

ඒ වගේම රට පුරා විසිරිලා තියෙන රාජ්‍ය ආයතන හැම එකකටම සූර්ය පැනල සවිකරලා ඒ ඒ ආයතනයට අවශ්‍ය විදුලි ඒකක ගණන ඒ ඒ ආයතනය තුලම උත්පාදය කරලා අතිරික්ත විදුලියෙන් කොටසක් හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීමට ආයතනය තුලම ගබඩා කරලා අනිත් කොටස ජාතික විදුලි පද්ධතියට එකතු කරනවා නම් රාජ්‍ය ආයතනවල ලක්ෂ ගණන්වලින් විදුලි බිල්පත් ගෙවීමට වැයකරන මහජන මුදල් මහජනයාටම සහන සලසන්න යොදවන්න පුළුවන් වගේම මහජනයාට පාවිච්චි කරන්න විදුලියත් ඉතුරු කරලා ඒකට අලුතෙනුත් තව එකතු කරලා ආයතනවල උත්පාදක යන්ත්‍ර (generators) ක්‍රියාත්මක කරන්න යන ඉන්ධනත් ඉතුරු කරගන්න පුළුවනි...

තවද ර⁣ට පුරා ඇති රාජ්‍ය ආයතනවලට අයත් වාහන සඳහා අධික ලෙස වැයවන ඉන්ධන ඉතුරු කරගැනීමට ඒ වෙනුවට විද්‍යුත් වාහන (electric vehicles) භාවිතා කර ඒවා ආරෝපණය කිරීමට (charge) සූර්ය ආරෝපණ මධ්‍යස්ථාන (solar charging stations) ඒ ඒ ආයතනයේ රථගාල්වල ඇතිකරනවා නම් ඉන්ධන සඳහා වැය වන මහජන මුදල් මහජනයාට සහන සලසන්න යොදවන්න පුළුවන් වගේම වියදමකින් තොරව විදුලියද ලබා ගත හැක...

මීට අමතරව අපේ රටේ තිබෙන තවත් හොඳ බල ශක්ති ප්‍රභවයක් තමයි සුළඟ... අපේ රට වටේටම ඇත්තේ මුහුදයි... නිරන්තරයෙන්ම දහවල් කාලයේදී මුහුදු සුළං ගොඩබිම දෙසට හමා එන අතර රාත්‍රී කාලයේදී ගොඩ සුළං මුහුද දෙසට හමයි... එබැවින් එයින් නිබඳවම සුළං විදුලිය නිපදවීම රට වටේටම සිදුකළ හැකියි...

අපේ රටේ තිබෙන ගංඟා ගැන සලකා බැලීමේදී රට පුරාම විහිදුන ගංඟා ජාලයක් තිබෙන බව දැකිය හැකියි... ඒ අනුව එහි පරිසර හිතකාමී ජල ප්‍රවාහන සේවා ඇති කිරීමට කටයුතු කල හැකි නම් එය අපේ රටේ ප්‍රවාහන සේවයේ දියුණුවක් ලෙස සැලකිය හැක...

අතී⁣තයේ සිට වර්තමානය දක්වා අපේ රටේ කුඹුරු දහස් ගණනනක් වසරකට දෙවතාවක් යල-මහ ලෙස අස් වද්දයි... වර්තමානයේ දී පුරන් කුඹුරු ද දහස් ගණනක් දක්නට ලැබේ... ඒ සියල්ල යලි අස්වද්දන්න කටයුතු කලොත් අපේ රටේ මිනිස්සුන්ට අඩුපාඩුවකින් තොරව හාල් සැපයීමටත් හාල් අපනයනය කොට විදේශ විනිමය ඉපයීමටත් හැකිය... තවද වසරකට දෙවතාවක් එම කුඹුරුවලින් එකතුවන පිදුරුවලින් අපේ රටට අවශ්‍ය කරන කඩදාසි නිෂ්පාදනය කිරීමටත් නිෂ්පාදිත අතිරික්තය අපනයනය කොට විදේශ විනිමය ඉපයීමටත් හැකිය...

අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන හැම දෙයක්ම රට තුල නිෂ්පාදනය කරන්න බැරි වුනත් බොහෝ දේවල් රටේම නිෂ්පාදනය කල හැකියි... එසේ හැකියාව තිබියදී එදා සිට අද දක්වා ඉන්න දේශපාලකයෝ හැම දෙයක්ම පිටරටින්ම ගෙන්වන්න උත්සහ කරන්නේ ඒ උදවියට ඒවයිවන් හොඳට ගසාකන්න පුළුවන් නිසා බව පැහැදිලියි... අපේ රටේ දක්ෂ නව නිපැයුම්කරුවෝ කොපමණ හිටියත් ඒ අයට නැගී සිටින්න දිරියක් නොදෙන්නේ ඒ හේතුව නිසා විය හැකියි... ⁣එබැවින් රටක් ලෙස එකමුතු හා එක්සත් වී දේශීය නව නිපැවුම්කරුවන්, දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන, දේශීය වගාවන් ඉදිරියට ගෙන ඒම රටේ ආර්ථිකය නගා සිටුවීමට පිටිවහලක් වෙනවා... පිටරටින් ගේන දේවල් මතම යැපිලා ඒවා නැති වුනාම අසරණ වෙනවට වඩා දේශීය දේවල්වලට හුරුවෙන එක වටිනවා... සමහර විට ඒ දේම නැති වුනත් ඒ වෙනුවට විකල්ප තියෙන්න පුළුවන්...

✍️නිපුන කිරිඇල්ල
🖼අන්තර්ජාලය෴

02/10/2022

තණ අග ඇති පිණි බිඳුවක් වැනි ජීවිතේට ඔවදනක්෴

හැමෝම උත්සාහ කරන්නේ ආර්ථික වශයෙන් සාර්ථක වුන ජීවිතයක් ගොඩ නගාගන්න... මොකද ඒ හැමෝටම සිහින සැබෑ කරගන්න හා බලාපොරොත්තු ඉටුකරගන්න තියෙනවා... ඒ සඳහා හැමෝම වගේ කුමක් හෝ අදායම් මාර්ගයක් හොයාගන්න බලනවා... බොහෝ අය අධ්‍යාපනික හා වෘත්තිමය මට්ටම්වලින් ඉහළට යන්න උත්සාහ කරනවා...

ඉතින් හැමෝටම තියෙන්නේ තණ අග තිබෙන පිණි බිංදුවක් වගේ ජීවිතයක්... ඒ ජීවිතේ දී ඔබ හිතින් බැඳුන දේවල් නැති වෙන්න පුළුවන්... සිහින බොඳ වෙන්න පුළුවන්... බලාපොරොත්තු සුන් වෙන්න පුළුවන්... හැම දේම අස්ථිරව පවතින ලොකේ ස්ථිර දේවල් හොයන්න එපා... නැති දේවල් හා නැති වුන දේවල්වල මානසිකව හිරවෙලා ඉන්නේ නැතුව තියෙන දේවල් එක්ක ජීවිතේ ඉදිරියට යන්න උත්සාහ කරන්න...

ඒ වගේම තව කෙනෙක්ගේ ජීවිතේ සමඟ තමන්ගේ ජීවිතේ සසඳන්න යන්න එපා... සසඳන්න අවශ්‍ය නම් තමන්ගේ ගෙවුන ජීවිතේ එක්ක වර්තමානයේ තමන් ගත කරන ජීවිතේ සසඳන්න... හැම විටම ගෙවුන ජීවිතේට වඩා එක පියවරක් හෝ වර්තමාන ජීවිතේ ඉදිරියට තබන්න බලන්න... ඔබේ අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙන ඒවා එකින් එක සකස් කරගන්න... ඒ වගේම ඔබේ කුසලතාවයන් හඳුනාගෙන ඒවා දියුණු කරගන්න ගමන් එයින් ඉදිරියට යන්න උත්සාහ කරන්න... කෙනෙකු සාර්ථක වෙනකොට තව කෙනෙක් අසාර්ථක වෙන්න පුළුවන්... ඒකෙන් ඒ අසාර්ථක වුන කෙනා සදාකාලිකව අසාර්ථක වෙන්නේ නෑ... එයාටත් එයාගේ කාල පරිච්ඡේදය තුල ඒ සඳහා උත්සාහ කලොත් සාර්ථක වෙන්න පුළුවනි...

වැදගත්ම දේ තමයි තමන් ජීවත්වෙන කාලය තුල කිසිම කෙනෙකුට කරදරයක් නොකර හා කරදරයක් නොවී ජීවත්වීම... තමන් ගැන වගේම අනුන් ගැනත් හිතන්න පුරුදු වෙන්න... මොකද ඒ වගේ අයගෙන් තමයි මේ ලෝකේ හැමෝටම ජීවත් විය හැකි සුන්දර තැනක් බවට පත්වෙන්නේ... ජීවත් වෙනකොට විවිධ බාධක පැමිණෙනවා... ඒ බාධක සමඟ ගැටෙන්න ගියොත් එයින් ඔබේ ගමන ප්‍රමාද වෙන අතර එයින් ඔබට හානි ද විය හැක... නුවණැති ම ක්‍රියාව නම් ගැටෙන්න හැකියාව තිබුන ද බාධකය මඟහැර යාමයි...

ඔබට ඇතිවන ප්‍රශ්නවලට විසඳුම් මේ ලොකේ ඕනෑ තරම් තිබෙනවා... එයින් එකක් හෝ හොයා ගන්න උත්සහ කරන්න...

✍️නිපුන කිරිඇල්ල
📸අන්තර්ජාලය෴

23/07/2022
15/07/2022

ක්‍රිස්තු වර්ෂ 2012 ‍‍මුළු ලෝකයම සසල කළ නැතහොත් බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ චිත්‍රපටි පවා නිර්මාණය වූ වසරකි... මෙහි වැඩිපුරම කතා බහ‍ට ලක් වූයේ 2012.12.12 හා 2012.12.21 යන දින දෙකය... එය‍ට එක් හේතුවක් වන්නේ මායා වරුන්ගේ දින දර්ශනයේ අවසාන දිනය 2012.12.21 ලෙස සටහන් වීමය... අනෙක් හේතුව වන්නේ 01.01.01, 02.02.02, ... වගේ අප‍ට අවසානයට කියන්න පුළුවන් වන්නේ 12.12.12 පමණක් බැවිනි... මන්ද මාස 13ක් නැති නිසා... නැවත 01.01.01 කියන්න පුළුවන් වන්නේ 2101 දී නැතහොත් වසර 100ක් ගත වූ පසුවයි... එම නිසා ඉහත කී දිනයන් දෙකෙන් එක් දිනයක 'ලෝක විනාශය සිදු වේ' යන අදහස මනුෂ්‍ය සිත් තුලට කා වැදී තිබුණි... එ‍බැවින් එම වසරේදී බොහෝ පිරිසක් ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වන බව පෙනෙන්නට තිබීම විශේෂත්වයකි... ‍බහුතරයක් මිනිසුන්ට ඉතින් ආගම දහම මතක් වෙන්නේ විපතක් වෙනකොට විතරයිනෙ... ඒ කෙසේ වෙතත් ඉහත කී දින දර්ශන (මායා වරුන්ගේ දින දර්ශනය සහ වර්තමානයේ භාවිතා වන දින දර්ශනය) සකසා තිබෙන්නේ සොබා දහම විසින් නොව මනුෂ්‍යයන් විසින්මයි... එම නිසා ඒවා 100%ක් නිවැරදියි කියා කිව නොහැක... මායා වරුන්ගේ දින දර්ශනය වෘත්තාකාර බැවින් එක් ස්ථානයකදී එය අවසන් වේ... ‍ඉතින් එතනින් එහා‍ට දින ලියන්න බැරි නිසා නැවැත්තුවාද කියා කවුද දන්නේ...? එය 'වෘත්තාකාර හැඩය' නිසා ඇති වූවක් වන්නට බැරිද...? අනෙක් දෙය වන්නේ ප්‍රාථමික මට්ටමේ 'ගණිත රටාවක්' නිසා ඇති වූ මතයකි... තත්පර එකතු කර විනාඩියත්, විනාඩි එකතු කර පැයත්, පැය එකතු කර දිනයත්, දින එකතු කර මාසයත්, මාස එකතු කර අවුරුද්දත් හැදුවේ මිනිස්සුයි... එය සර්ව සම්පූර්ණ නැති නිසා වන්නට ඇති දින 1/4ක බැගින් අපතේ ගොස් අධික අවුරුද්දක් නිර්මාණය වන්නේ... එම නිසා ඉහත කී ලෝක විනාශයන් සොබා දහම විසින් නිර්මාණය කල ඒවා නොව මිනිසුන් විසින් මවා ගත් ඒවායි...

නමුත් සියල්ල සදාකාලික නොවෙන බැවින් ලෝකය ද එක් කලෙක දී ‍විනාශ වෙයි... එම විනාශය වන්නේ මිනිසුන් නිර්මාණය කල දින දර්ශනවලට අනුව නොව සොබා දහම‍ට අනුවයි...

මම මෙලෙස පෙර වදනක් කලේ ලෝක විනාශය ගැන කතා කිරීම‍ට නොව මාතෘකාවට පිවිසීමටය... එනම් එක "1" ගැන කතා කිරීමටයි... ගණිතයට අනුව නම් එක "1" කියන දේ ඇති වන්නේ බින්දුව "0" නැත්නම් "කිසිවක් නොමැත" කියන දේට සාපේක්ෂවයි... හැමෝම වාගේ උත්සාහ කරන්නේ යමෙකුට සාපේක්ෂව තමන්ගේ ස්ථානය පළමු තැනට ගැනීමටයි... මම මෙතනදී මනුෂ්‍යයන් ගැන පමණක් කතා කරන්නම්... රූපෙන් ද, බලයෙන් ද, දැනුමෙන් ද, විභාගවලින් ද, අධ්‍යාපනයෙන් ද, රස්සාවෙන්ද, ජනප්‍රියතාවයෙන් ද යනා දී විවිධ දේවල්වලින් තව කෙනෙකුට සාපේක්ෂව 'එක' වීමට උත්සාහ ගනී... එම 'එක' වීම සදහා 'ඕන දෙයක්' කිරීම‍ට මිනිසුන් පෙළඹීම‍ කණගාටුවට කරුණකි... මන්ද එතන‍ට 'අනෙකා නසා හෝ එක වීම' යන අදහසද ගැබ් වී ඇති බැවිනි... එය නියම ආකාරයෙන් '1' වීම නොවෙන බව ඔබට පැහැදිලි ඇතැයි සිතමි... මා දකින විදියට නියම ආකාරයෙන් '1' වන්නට හැක්කේ අනුන්ට සාපේක්ෂව බැලීමෙන් නොව තමුන්ට සාපේක්ෂව බැලීමෙනි...

සරළ උදාහරණයකින් එය මෙසේ පැහැදිලි කරන්නම්... පන්තියක සිටිනවා ළමුන් පස් දෙනෙක්... පස් දෙනාම විභාගයකට පෙනී සි‍ට ලකුණු ලබා ගන්නේ මෙසේයි... 2/100, 5/100, 8/100, 5/100, 10/100 ලෙසයි... මෙතන දී අනෙක් සිසුන්ට සාපේක්ෂව 10/100 ලෙස ලකුණු ලබාගත් ළමයා 'එක' වේ... නමුත් ඔහු ලබාගෙන ඇත්තේ අවම ලකුණු ලබන්නන්ගෙන් 'එක' මිසක් නියම 'එක' නොවේ... නියම 'එක' ලබා ගැනීමට නම් තමන්ට සාපේක්ෂව එනම් 100 ම‍ට්ටම‍ට ආසන්නව ලකුණු ගත යුතුය... හොදයි මම තවත් සරළ උදාහරණයක් ගන්නම්... පන්තියක එක ළමයෙක් පමණයි සිටින්නේ කියල උපකල්පනය කරමු... එතනදී එම ළමයා කිසිම ලකුණක් නොලැබුවත් සාපේක්ෂව 'එක' වේ... එයද නියම 'එක' වීම නොවේ...

එම නිසා කිසි විටෙක අනුන්ට සාපේක්ෂව 'එක' වන්නට උත්සාහ ගන්න එපා... හැම විටම තමන්ට සාපේක්ෂව 'එක' වන්න උත්සාහ කරන්න... අනිත් අය මොන අංශයෙන් ඔබට වඩා ඉහළ ගියත්, ඔබ ඒවාට ඊරිසියා කරන්නවත්, ඒ අය සමග ගැටෙන්නවත් එකට එක කරන්නවත් යන්න එපා... හැම විටම තමා විසින් තමන්ව අභිබවා ජයග්‍රහණය කරන්න උත්සාහ ගන්න... ඔබට දිවයිනෙන්ම සාමාන්‍ය පෙළින් හෝ උසස් පෙළින් හෝ ඕනෑම විභාගයකින් ප්‍රථම ස්ථානය ලබා ගැනීම‍ට අවශ්‍ය නම් ඒ සදහා සංකීර්ණ ක්‍රමය වන්නේ 'තමන්ට ව‍‍ඩා අති දක්ෂ අය මෙරට කෙතරම් සිටී ද' යන්න අනුන්ට සාපේක්ෂව සිතීමයි... සරළ ක්‍රමය වන්නේ 'විභාගයට එන ප්‍රශ්න සියල්ලටම නිවැරදිව පිළිතුරු ලියනවා' යනුවෙන් තමන්ට සාපේක්ෂව සිතීමයි... මා පැවසූ ආකාරයට ඔබ මින් සරළ ක්‍රමය අනුගමනය කර ඒ අනුව ඔ‍බේ වැඩ කොටස හරියට කළොත් නියත වශයෙන්ම, නියම ආකාරයෙන් 'එක' වීම‍ට ඔබ‍ට හැකි වනු ඇත... නැත්නම් අනෙත් ක්‍රමයට අනුව අනුන්ට සාපේක්ෂව කළොත් එය හරියට 'තමුන්ට තමුන් විසින් ම බොරු කරගන්නවා වැනිය'...

✍️නිපුන කිරිඇල්ල
🖼අන්තර්ජාලය෴

#1️

14/07/2022

උසස් පෙළින් උපාධි අපේක්ෂකයෙකු ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න අසමත් වුන කෙනෙක්, රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබා ගනීවි කියලා ඔබ හිතනවා ද ??? එසේත් නැත්නම් රටේ ජනප්‍රිය පාසලකට නොගිය කෙනෙක් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගනීවි කියලා ඔබ විශ්වාස කරනවා ද ??? ඔව්... ඔබට වැටෙන සෑම අවස්ථාවකම නැගී සිටින්නට හැකිනම්, දැඩි ආත්ම විශ්වාසයක් හා ආත්ම ශක්තියක් තිබෙනවානම්, සියලු බාධකවල නොගැටී මඟහරින්න පුළුවන්නම්, අභියෝග සියල්ල භාරගන්නවානම් ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න පුළුවනි... ඒ දේ ඔප්පු කරලා පෙන්නපු කෙනෙකු ලෙස මා මේ කතාව කියන්නේ ජීවිතේ යම් යම් දේවල් අසමත් වෙන සහ අසමත් වූ සියළු දෙනා වෙනුවෙනි...

සෑම කෙනෙකුම ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු වන බව ලෝක ප්‍රකට මහා විද්‍යාඥයෙකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රකාශ කර ඇත... මේ කියමන මා තේරුම් ගත් ආකාරයට මෙසේ ඉදිරිපත් කරමි... අපි මහ පාරේ හිඟා කන හිඟන්නෙකු උදාහරණයකට ගමු... යමෙකුට හිතෙන්න පුළුවන් හිඟන්නා කොහෙද ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් වෙන්නේ කියලා... නමුත් පොඩ්ඩක් හිතලා බලන්න හිඟා කෑම කියන දේ හිඟන්නා කරන තරම් හොඳට අපට කරන්න පුළුවන්ද කියලා... මිනිස්සුන්ගේ අනුකම්පාව ලබාගන්න ඔවුන් හැඩගැගෙන විදිය, අඳින පලඳින විදිය, කතාබහ කරන විදිය වගේ දේවල් ඔවුන් කොච්චර බුද්ධිමත් විදියට කරනවද ? ඒ වගේම හිඟාකන්නේ මොන වගේ වෙලාවට ද මොන වගේ ස්ථානවල ද කියා ඔවුන් පලපුරුද්දෙන්ම දනී... හිඟාකෑම කියන විෂය පථය තුල හිඟන්නා කියන චරිතය ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු වේ... එලෙසම කසල ශෝධකයන්, කම්කරුවන්, ගොවියන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් වැනි විවිධ ක්ෂේත්‍රවලට අයත් චරිත ඒ ඒ ක්ෂේත්‍ර තුල ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වේ... තවද සඳහන් නොකල ක්ෂේත්‍ර ගණනාවක් තිබෙන බව ද දත යුතුයි...

නමුත් අද කාලේ බොහෝ විට සිදු වෙන්නේ එක් ක්ෂේත්‍රයකට අදාළ චරිතයක හැකියාව වෙනත් ක්ෂේත්‍රයකට අයත් චරිතයක හැකියාවෙන් මැන බලා ඔවුන්ව නිකමුන් ලෙස කොන් කිරීමයි... එය සම්පූර්ණයෙන් වැරදි, නොකළ යුතු දෙයක් බව මින් පැහැදිලි වේ... තවද ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ සෑම පුද්ගලයෙකුම නොසලකා හැරිය නොහැකි අය බවද සිහියේ තබාගත යුතු කරුණකි... මන්ද ගොවියෙක් නැත්නම් රටට බත් සපයන්න කෙනෙක් නෑ වගේම ‍වෛද්‍යවරයෙක් නැත්නම් රෝගීන් සුව කරන්න කෙනෙක් නැති බැවින්... ඒ වගේම වෛද්‍යවරයාට ගොවිතැන් කරන්න බෑ වගේම ගොවියාට වෙදකම් කරන්න බෑ කියලත් දත යුතුවේ... නමුත් ඇතැම් විට විවිධ ක්ෂේත්‍ර කිහිපයක් තුල හැකියාවන් ඇති අයද සිටී... ඒ කොහොම වුනත් සෑම කෙනෙකුටම උපතින්ම සහජ හැකියාවක් හෝ හැකියාවන් කිහිපයක් උරුම වේ... තමන් පළමුවෙන්ම කල යුත්තේ ඒ හැකියාව හෝ හැකියාවන් මොනවාද කියා හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගනිමින් ඒවාට අදාළ ක්ෂේත්‍රයන් තුල ඉදිරියට ගමන් කිරීමයි... එවිටයි ඒ කෙනාට පහසුවෙන් දියුණු විය හැකි වන්නේ...

මෙයින් වැදගත්ම කාරණාව වෙන්නේ අපිට මොන විදියේ හැකියාවන් තිබ්බත් අප සියල්ලන්ම සර්ව සම්පූර්ණ අය නොවන බවයි... ඒ වගේම අපි හැමෝම සියල්ල දත්තෝ නොවෙති... අපි හැමෝම මේ ලෝකය තුල ජීවත් වන්නේ කාගෙන් හෝ යැපීමෙනි... අප නිදාගන්න ඇඳ, ඉඳගන්න පුටුව, ගාන සබන් කෑල්ල වැනි එදිනෙදා පාවිච්චියට ගන්න දේවල් කවුරු හෝ හදපු නැත්නම් නිර්මාණය කරපු දේවල්ය... කන කෑම පවා අප විසින් මවා ගත්තු ඒවා නොව කවුරුන් හෝ විසින් නිෂ්පාදනය කරපු දේවල්ය... අප යම් ක්ෂේත්‍රයකට අදාළ උපාධියක් ගත්තාම නැත්නම් ප්‍රවීණයෙක් වුනාම සමහරු හිතන්නේ ඒ ක්ෂේත්‍රය තුල සියල්ල දත් අය ලෙසිනි... නමුත් ඒ දේ වැරදි මතයක් බව තරයේ ප්‍රකාශ කරන අතර ඒ ක්ෂේත්‍රය තුළ ආධුනිකයන්ට වඩා යමක් දන්නා අය බව අවධාරණයෙන් කිව යුතුවේ... මන්ද ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වන්නේ ඒ ක්ෂේත්‍රය තුල ආධුනිකයෙකුට වඩා තමන්ගේ ඇති අඩුපාඩුකම් හා වැරදීම් හදාගනිමින්, දැනුම වර්ධනය කිරීමෙන් බැවිනි... එලෙසම ප්‍රවීණයෙකු කවදාවත් ආධුනිකයෙකු අවතක්සේරු කරන්නවත් නොසලකා හරින්නවත් සුදුසු වන්නේ නැහැ... මන්ද යම් දිනක ආධුනිකයෙකුට ප්‍රවීණයෙකු විය හැකි බැවින්... ඒ වගේම ආධුනිකයන් ප්‍රවීණයන් අනුකරණය නොකර අනුගමනය කිරීමෙන් ප්‍රවීණයෙකු වීමට මඟ පාදා ගත හැක... ඒ සඳහා ආධුනිකයාට ප්‍රවීණයා කෙරෙහි ගෞරවයක් තිබිය යුතුවේ... තවද ප්‍රවීණයෙක් වනාහි සර්ව සම්පූර්ණ කෙනෙක් නොවන්නේ ඔවුන් අතින් ද වැරදි හා අඩුපාඩු ඕන තරම් සිදුවිය හැකි බැවිනි... එම නිසා යමෙකුට වැරදුනාම ඒ දේ නිවැරදි කරගන්න ඒ කෙනාට උදව් කිරීම මහත්මා ගතියක් වන අතර ඒ කෙනාව සමච්චලයට බඳුන් කිරීම හෝ කොන් කිරීම නිවට ගතියක් බව දැන ගත යුතු වේ...

යම් කෙනෙකුට යම් ක්ෂේත්‍රයක් තුල සම්මත වූ දැනුමක් තියෙන බව හා ඒකට සුදුසු යැයි කියා සම්මත කරගත් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන දෙන සහතික පත්‍රයක් තමයි උපාධියක් වන්නේ... නමුත් ඒ පරීක්ෂණ ක්‍රම 100%ක් සාර්ථක පරීක්ෂණ කියා මා නම් විශ්වාස කරන්නේ නෑ... මොකද ඒ පරීක්ෂණවලට අහුවෙන්නේ නැතිව අසමත් වෙන දක්ෂයන්ද ඕන තරම් සිටින බැවින්... මේ ලෝකේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කර ලෝකෙට සේවයක් කරපු ප්‍රකට පුද්ගලයන් වන බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් වැනි අය මීට හොඳම උදාහරණ වේ... සමහර අයට එවැනි පරීක්ෂණවලට ඉදිරිපත් වෙලා ජයගන්න පුළුවන් වුනත් ඒ දේ කරගන්න වත්කම නෑ... ඒ කෙසේ වෙතත් එවැනි උපාධි දෙකකට උරුමකම් කියන මා හට උපාධි අපේක්ෂකයන්ට, ආධුනිකයන්ට හා ශිෂ්‍යයන්ට කියන්නට යමක් තිබේ... ඔබ ඉගෙන ගන්න කාලෙදි ඔබට වඩා ඒ විෂයට අදක්ෂ ළමයෙක් හම්බුනොත් ඒ කෙනාව කිසිවිටෙකත් කොන් කරන්න හෝ සමච්චලයට ලක් කරන්න යන්න එපා... මොකද ඔබට බැරි යමක් එයාට පුළුවන් විය හැකි බැවින්... හැකි නම් ඒ කෙනාටත් ගොඩ යන්න උදව් කරන්න... ඒකෙන් ඔබේ දැනුම හා හැකියාව වර්ධනය වෙනවා මිසක් කිසිවිටෙකත් ඔබට අහිතක් සිදු නොවේ... තවද එයින් ඔබට පුදුමාකාර මානසික සුවයකටත් සතුටටත් පත්විය හැකියි... එසේ කිරීමට නොහැකි නම් ඔබ ඔබේ පාඩුවේ ඉන්න... නැත්නම් පසුකාලෙක දී ඔබට මානසික අපහසුතාවයකටත් දුකටත් පත්වීමට එය හේතුවක් වේවි...

මම උපාධියක්වත් අරගන්නේ නැතුව මේ ටික කිව්වා නම් නිකමෙක් කරපු කතාවක් විදියට යමෙකුට නොසලකා හරින්න පුළුවනි... නමුත් දැන් කාගෙත් අවධානය මෙයට ලැබෙයි කියා විශ්වාස කරමි... අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අපිට මොන හැකියාවන් තිබුනත්, සමාජයේ උස්-පහත් ලෙස තත්වයන් තිබුනත් සෑම කෙනෙකුටම ආත්ම ගරුත්වයක් කියල දෙයක් තියෙන බව දැන ගත යුතුවේ... ඒ ආත්ම ගරුත්වය සෑම කෙනෙකුගේම සමාන වේ... එම නිසා අපි එකිනෙකාට ගරු කරන්න පුරුදු විය යුතුයි... ඒකයි නියම මහත්මා ගතිය නැත්නම් හැදිච්චකම වන්නේ... තවද මුදලටම යට වෙලා තියෙන මේ සමාජයේ මනුස්සකමට මුල් තැනක් දෙන්න පුළුවන්නම් මේ ලෝකේ මීට වඩා ලස්සන හා සුන්දර තැනක් බවට පත් කරන්න අපි හැමෝටම පුළුවන් වේවි...

✍️නිපුන කිරිඇල්ල

13/07/2022

පොදු සම්භවයක්, ඉතිහාසයක්, සංස්කෘතියක්, භාෂාවක් මඟින් එක්සත් වූ ජන සමූහක් වාසය කරන, එම ජන සමූහය තුලින් බලයලත් මනුෂ්‍ය කණ්ඩායමක් විසින් පාලනය කරන භූමියක් 'රටක්' (country) ලෙස හඳුන්වයි... එහි එක්සත් වූ ජන සමූහය 'ජාතිය' (nation) ලෙසත් පාලන බලය හිමි මනුෂ්‍ය කණ්ඩායම 'ආණ්ඩුව' (government) ලෙසත් හඳුන්වන අතර ඒ ආණ්ඩුව විසින් කරන පාලනයට සම්බන්ධ ක්‍රියාකාරකම් 'දේශපාලනය' (politics) ලෙස අර්ථ දක්වයි... දේශපාලනය රටකින් රටකට ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී, ඒකාධිපති යනාදී වශයෙන් පාලන තන්ත්‍ර (regime) අනුව වෙනස් වේ... තවද රටක දේශපාලනය එම රටට ගැලපෙන ප්‍රතිපත්ති මාලාවක් හා නීති පද්ධතියක් අනුව සිදුවේ...

ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවක් පත්කිරීමේ බලය පැවරෙන්නේ මහජනතාවටයි... එනම් ආණ්ඩුව කියන සුළුතරයට වඩා මහජනතාව කියන බහුතරය හැමවිටම බලවත්ය... පත්වන ආණ්ඩුව දූෂිත නම් ජනතා පරමාධිපත්‍ය බලය හිමි මහජනතාවට එකට එක් වී එම ආණ්ඩුව පෙරලීමට හැක... එම නිසා දූෂිත දේශපාලකයන් හැමවිටිම මහජනයා බෙදා වෙන් කිරීමට ප්‍රයත්න දරයි... එහිදී ජාති, ආගම්, පක්ෂ, රාජ්‍ය, පෞද්ගලික යනාදී වශයෙන් මහජනයා විවිධ ආකාරයට බෙදා වෙන් කර ගැටුම් නිර්මාණය කර අසමගිය ඇති කරයි... තවද බලයට පැමිණීමට හා බලය රැක ගැනීම සඳහා සමාජයේ විවිධ පැතිකඩවලට අයත් මහජනයා තුලින් තමන්ට පක්ෂ මිනිස් ජාලයක් නිර්මාණය කර ගනී... බොහෝවිට එවැනි මිනිස් ජාලයක් නිර්මාණය කර ගන්නේ සමාජයේ දූෂණයට කැමති පුද්ගයන්ට ඒ සඳහා අවස්ථා උදාකර දීමෙනි... එම මිනිස් ජාලය තුල ජන මාධ්‍ය, ආගමික, අධ්‍යාපනික, ව්‍යාපාරික, ආරක්ෂක වැනි විවිධ පැතිකඩවල් ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වා නියෝජනය කරන පුද්ගලයෝ බොහෝ සිටිති... එම මිනිස් ජාලය උපයෝගී කරගෙන පහසුවෙන් රටක් දූෂණය කරනු ලබන අතර මහජනතාව මුලාවට පත්කරනු ලබයි... එම නිසා ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජනතාවගේ එකමුතුබව හා සමගිය අනිවාර්යයෙන් පවත්වාගෙන යා යුතු දෙයකි... තවද එම මහජනතාව ⁣දේශපාලනය තුල මුලා නොවෙන තරමට බුද්ධිමත් විය යුතුය... එහිදී විශේෂයෙන් ජන මාධ්‍යක වගකීම විය යුත්තේ ජනතාවට දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ වී සත්‍ය ඉදිරිපත් කිරීමයි... නමුත් යම් ජන මාධ්‍යක් ⁣දේශපාලන වාසි තකා දූෂිත දේශපාලකයන්ට කඩේ යනවා නම් එම මාධ්‍ය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට මහජනතාව පුරුදු විය යුතුයි... තවද මහජනයා, 'දූෂණය පිළිකුල් කරන සමාජයක්' ලෙස ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි... එවිට බහුතරයක් දූෂණය පිළිකුල් කරනකොට, දූෂණයට කැමති සුළුතරය එය කිරීමට බිය වෙති...

ආණ්ඩුවක් යම් අරමුණක් ඉටුකරගැනීම සඳහා ප්‍රතිපත්තියක් (policy) අනුගමනය කරයි... ආණ්ඩුවක එවැනි ප්‍රතිපත්ති තුලින් ආර්ථික, සමාජීය, දේශපාලන හා පරිසරාත්මක යන මූලික අංශවලට විශේෂයෙන් අවධානය යොමු කරයි... රටක දියුණුව ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ එම රටේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති මතය... ප්‍රජාතන්ත්‍රවාදී රටක බොහෝ විට ආණ්ඩු බලයට පත්වෙන පක්ෂය අනුගමනය කරන්නේ තම පක්ෂයේ ප්‍රතිපත්තිය... ඉන්පසු මැතිවරණයක දී වෙනත් පක්ෂයක් බලයට පැමිණි විට එම පක්ෂයේ ප්‍රතිපත්ති අනුව එයට පෙර ආණ්ඩුව විසින් ගෙන ගිය සංවර්ධන කටයුතු නවතා දමන්නට හෝ වෙනස් කිරීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත... එම නිසා එවැනි රටක ජාතික ප්‍රතිපත්තියක් තිබීම අත්‍යාවශ්‍යම කරුණකි... එමඟින් මැතිවරණයක දී කුමන පක්ෂයක් බලයට පැමිණියත් රටේ සංවර්ධන වැඩ කටයුතුවලට බාධා පැමිණවීමට නොහැකිය...

මිනිස් ක්‍රියාකාරකමක් මඟින් යම් දෝෂයක් සිදුවීම වැළැක්වීම පිණිස ගනු ලබන ක්‍රියාමාර්ගයක් අරබයා නීති (law) පැනවේ... සාමාන්‍යයෙන් එවැනි නීති පනවන අවස්ථා දෙකක් මා දකිනවා... ඉන් පළමු වැන්න වන්නේ සිදු වූ දෝෂයක් නැවත සිදු වීම වැළැක්වීම පිණිස ගනු ලබන ක්‍රියාමාර්ග... දෙවැන්න වන්නේ සිදු වේ යැයි බලාපොරොත්තු තැබූ දෝෂයක් සිදුවීමට ප්‍රථම ව වැළැක්වීම පිණිස ගනු ලබන ක්‍රියාමාර්ග... රටක මෙවැනි නීතිවලට යටත්ව ඒ රටේ සියළු පුරවැසියන් කටයුතු කළ යුතුයි... මෙම නීති කැඩීම කියන්නේ වැළැක්වීමට ප්‍රයත්න දැරූ දෝෂයන් සිදුවීමට ඉඩ හැරීමයි... වැඩි වැඩියෙන් නීති කඩනවා කියන්නේ සිදු වෙන දෝෂ ප්‍රමාණය ද ඉහළ යෑමයි... එය රටක දේශපාලනය පිරිහීමට මූලිකම කරුණ වේ... ප්‍රජාතන්ත්‍රවාදී රටක උත්තරීතර නීතිය ලෙස හඳුන්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි... එම රටේ කලින් කලට නීති සම්පාදනය හා සංශෝධනය කරනුයේ පාර්ලිමේන්තුවෙනි... නමුත් එහි ඉහළ අවදානමක් තිබෙන්නේ දූෂිත ආණ්ඩුවක් පත් වූ විට ඔවුන්ට අවශ්‍ය පරිදි නීති සංශෝධනය කළ හැකි බැවිනි... ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය පළමු පුරවැසියාට එකකුත් සාමාන්‍ය පුරවැසියන්ට තව එකකුත් ලෙස නොවිය යුතුය... නීතිය කාටත් පොදු නැත්නම් සම විය යුතුය... මන්ද පළමු පුරවැසියා හෝ සාමාන්‍ය පුරවැසියා විසින් යම් දෝෂයක් සිදු කලහොත් එය දෝෂයක්ම වන බැවිනි... එම නිසා ඉහළ මට්ටමේ සිට පහළ මට්ටමට බේදයකින් තොරව නීතිය රැකීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමකි...

ප්‍රජාතන්ත්‍රවාදී රටක සිටින ඔබ කිසි විටෙක රූපයට, බලයට, චන්ඩිකම්වලට, ප්‍රසිද්ධියට යටත් වෙලා ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කර අපතේ යවන්න එපා... ඔබ ඡන්දය දිය යුත්තේ රටට ඔබින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ⁣⁣රටේ නීතිය හා සාමය රැකගෙන රට පාලනය කල හැකි දේශපාලන දැනුමක් හා පළපුරුද්දක් සහිත උගත් වගේම බුද්ධිමත් අයටයි... නැත්නම් ඒකෙන් අඳුරු වෙන්නේ රටේ අනාගතයයි... ඡන්දය දෙන්න සුදුස්සෙක් නැත්නම් ඡන්දය සඳහා නාම යෝජනා ඉදිරිපත් කල අයගෙන් ඉහළම සුදුසුකම් ඇති අවම දූෂණයක් සහිත කෙනා තේරීම යහපත්ය... නැත්නම් ඡන්දය නොදා සිටීම, දූෂිතම කෙනා බලයට පමුණුවීමට ඉඩහැරීමක් විය හැකිය... යම් කිසි කෙනෙක් දේශපාලන වාසි තකා දූෂිත දේශපාලකයෙකුට කඩේ යනවා නම් ඒ දූෂිත දේශපාලකයා බලයට පත්වීමෙන් දූෂණය වෙන්නේ තමන්ගේ රට බව දැන ගත යුතුයි... තමන්ගේ රට දූෂණය වීමෙන් තමන්ටද එහි අහිතකර ප්‍රතිඵල අනිවාර්යයෙන් අත්විඳීමට සිදුවෙන බව මතක තබා ගත යුතුයි... එම නිසා ඔබේ වටිනා ඡන්දය මුළු රටේම අනාගතය ගැන හිතලා මුළු රටටම යහපතක් වෙන්න බුද්ධිමත්ව පාවිචචි කරන්න !!!

✍️නිපුන කිරිඇල්ල
🖼අන්තර්ජාලය෴

04/07/2022

භාෂාව යනුවෙන් අප හඳුන්වන්නේ එකිනෙකා සන්නිවේදනය කරගන්න මාධ්‍යය යි... ලෝකයේ සන්නිවේදනය කිරීම සඳහා යොදාගන්නා විවිධාකාරයේ භාෂා වර්ග අසීමිත ප්‍රමාණයක් තිබේ... ඒ අතර මනුෂ්‍යයන් පමණක් නොව අනෙකුත් සත්වයන් ද එකිනෙකා සන්නිවේදනය කරගන්නා භාෂා වර්ග ඇත... එයිනුත් එක් වර්ගයකට අයත් සත්වයන් සමූහ නැත්නම් කණ්ඩායම් ලෙස බෙදුවහොත් එකිනෙකට වෙනස් භාෂාවන් දක්නට ලැබේ... එයට උදාහරණයක් ලෙස මනුෂ්‍යයන් සන්නිවේදනය කරන භාෂාව රටකින් රටකට විශාල වෙනසක් ගන්නා අතර ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට නැත්නම් පළාතකින් පළාතකට, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයකට, ගමකින් ගමකට, පුද්ගලයගෙන් පුද්ගලයට සුළු සුළු වශයෙන් හෝ වෙනස් වේ... තවද එම භාෂාවන් ශබ්ද, සළකුණු, ඉරියව් යනාදී වශයෙන් විවිධාකාරයන් ගනී... එලෙසම භාෂාව තුල ඉපදීම, වෙනස්වීම, අභාවය යන ලක්ෂණ ද දැකිය හැකිවේ...

මෙසේ අසීමිත වූ අප්‍රමාණ වූ භාෂාව තුලින් ප්‍රමුඛ ස්ථානය ගන්නේ මව් භාෂාවයි... මව් භාෂාව වන්නේ තමන්ගේ දෙමව්පියන් භාවිතා කරන භාෂාවයි... එය තමයි දරුවෙක් මෙලොව එළිය දුටු දා ඉඳන් ප්‍රථමයෙන් ප්‍රගුණ කරන භාෂාව බවට පත්වන්නේ... මනුෂ්‍යයන් ලෙස අපට මනා කොට යමක් තේරුම් ගත හැක්කේ එය මවු භාෂාවෙන් ඇතිවිටය... තවද විවිධ අවශ්‍යතා මත ලෝකයා සමග සන්නිවේදනය කිරීම සඳහා වෙනත් භාෂාද ප්‍රගුණ කිරීමට අපට සිදුවේ... එයින් ප්‍රධාන තැනක් ගන්නේ ජාත්‍යන්තර භාෂාවයි... ජාත්‍යන්තර භාෂාව ලෙස ලෝකයා පිළිගෙන නැතහොත් සම්මත කරගෙන ඇත්තේ ඉංග්‍රීසි භාෂාවයි... ඉංග්‍රීසි භාෂාව, ජාත්‍යන්තර භාෂාව ලෙස නම් කරන්නට ඇත්තේ ඉංග්‍රීසින් විසින් එකල බොහෝ රටවල්වල පාලන බලය අල්ලාගෙන ඒවා එංගලන්තයේ යටත් විජිතයන් ලෙස තිබූ නිසා විය හැක... ඒ කෙසේ වෙතත් දෙවන භාෂාවක් ලෙස ශ්‍රී ලාංකිකයන් වන අපිට ද ඉංග්‍රීසි ඉගෙනගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබේ... ඊට අමතරව අපේ රටේ පුරවැසියන් මව් භාෂාව ලෙස සිංහල භාවිතා කරනවා නම් දෙමළත්, දෙමළ භාවිතා කරනවා නම් සිංහලත් ඉගෙන ගෙන පුරුදු වීම තුලින් රටේ එකමුතු බව හා සහජීවනය වඩාත් ශක්තිමත් කර ගත හැකිය...

භාෂාවකට සම්මත කරගත් නීති රීති තිබේ... එම නීති රීති යොදා ඇත්තේ සන්නිවේදනය නිවැරදිව සිදුවීම සඳහාය... මන්ද යම් තැනකදී යම් දෙයක් අරමුණු කරගෙන කරන ප්‍රකාශයක් තව තැනකදී වෙනත් දෙයක් අරමුණු කරගන්නවා නම් එතන සන්නිවේදනයේ ගැටළුවක් මතුවෙන නිසා... එබැවින් යම් සම්මතයක අවශ්‍යතාව පැන නගින හේතුවෙන් භාෂාවකට මෙලෙස සම්මත කරගත් නීති රීති යොදා තිබේ... සම්මතයන් ලෝකයේ බිහි වන්නේ මෙවැනි ගැටළු වැළැක්වීම පිණිසය... උදාහරණයක් ලෙස දුර මැනීමේ දී පාදයේ අඩියේ දිග ඒකකයක් ලෙස ගත්තොත් එක්කෙනෙක් මනින අඩි දහයේ දුර තව එක්කෙනෙක් මනින අඩි දහයේ දුරට වඩා වෙනස් අගයක් ගන්නා බැවින් දුර මැනීම සඳහා 'මීටරය' සම්මත ඒකකයක් ලෙස ලෝකයම භාවිතා කරයි... එම නිසා අප භාෂාවක් හැදෑරීමේ දී එය නිවැරදිව භාවිතා කිරීමට එහි සම්මත වූ නීති රීති හැදෑරීම අත්‍යාවශ්‍ය කරුණක් වේ... ඒවා ව්‍යාකරණ ලෙස හඳුන්වයි... ඒ සමඟ ම හැකිතාක් වචන ඉගෙන ගැනීමෙන් ඔබ අදහස් කරන දෙය නිවැරදිව ප්‍රකාශ කළ හැකිය... තවද භාෂාවක් ඉගෙන ගැනීමේ දී ප්‍රගුණ කල යුතු කුසලතාවයන් හතරක් වේ... ඒවා නම් කියවීම, ඇහුම්කන් දීම, ලිවීම සහ කථා කිරීම යි... එම කුසලතාවයන් හතර ප්‍රගුණ කරන තරමට ඔබට භාෂාවේ ප්‍රවීනයෙක් විය හැක...

භාෂාවක ව්‍යාකරණ නිවැරදිව භාවිතා නොකර තමන්ට යම් අදහසක් තමන් අදහස් කරන ආකාරයෙන්ම යමෙකුට වටහා දෙන්න පුළුවන්නම් එතනදී සන්නිවේදනයේ අවුලක් මා නොදකිමි... මන්ද සන්නිවේදනයේ අරමුණ ඉටු වී ඇති බැවින්... තවද යමෙකුට භාෂාවක් තමන්ට අවශ්‍ය විදියට හැසිරවීමට පුළුවන් වීම ඔහුගේ හෝ ඇයගේ එක් හැකියාවක් ලෙස සැලකීමට හැක... එයින් අදහස් කරන්නේ නෑ එසේ කිරීමට නොහැකි අය හැකියාවක් නැත්තවුන් ලෙස... මන්ද භාෂාවක් නිසි ලෙස හසුරුවන්න බැරි දක්ෂයෝ ඕන තරම් මෙලොව සිටින බැවිනි... උදාහරණයක් ලෙස භාෂාවක් හරියට හසුරුවන්න බැරි එහෙත් කෙලිබිමේ දක්ෂ ලෙස තම රාජකාරිය අකුරටම කරන ඇතැම් ක්‍රීඩකයෝ ගත හැක... තවද බොහෝ සම්මුඛ පරීක්ෂණ වලදී භාෂාව භාවිතයේ එක් කුසලතාවක් වන කථා කිරීම පරීක්ෂා කර බලනු ලබයි... එහිදී ප්‍රමුඛතාවය හිමි වන්නේ ඉංග්‍රීසි බසටයි... නමුත් එවැනි සම්මුඛ පරීක්ෂණවලින් තෝරගන්නා කාර්යයට ඉංග්‍රීසියෙන් කථා කිරීම අත්‍යවශ්‍ය දෙයක් නොවන්නේ නම් එම පරීක්ෂණ නිෂ්ඵල වනු ඇත... මන්ද එම කාර්යය කිරීමට හැකියාව ඇති දක්ෂයෙකු ඉංග්‍රීසි කථා කිරීමට නොහැකි නිසා තෝරා නොගැනීමට පුළුවන් බැවින් හා අදක්ෂයෙකු ඉංග්‍රීසි කථා කිරීමට හැකි නිසා තෝරාගැනීමට පුළුවන් බැවින්...

අපේ රටේ දෙවන භාෂාව ලෙස භාවිතා කරන ඉංග්‍රීසි අපේම රටේ කෙනෙකුට බැරි වෙනකොට ඒ කෙනාව සමච්චලයට බඳුන් කරන්නෙත් අපේම රටේ කෙනෙක් වීම කණගාටුවට කරුණකි... ඇත්තටම අපේ රටේ කෙනෙකුට ඉංග්‍රීසි බැරි වෙනකොට පිටරටක කෙනෙක් හිනා වෙනවා මම නම් තවම දැක නැත්තෙමි... අපේ රටේ මවු භාෂාවට මුල් තැන නොදී මෙලෙස අනුන්ගේ භාෂාවකට මුල් තැන දීම හාස්‍යයට හා විමතියට බඳුන් විය යුතු දෙයකි... ඒ කෙසේ වෙතත් ජපානය, චීනය වැනි රටවල් තමන්ගේ මවු භාෂාවට මුල් තැන දී කටයුතු කරයි... ඔවුන්ගේ රටට යනවා නම් අනිවාර්යයෙන් ඔවුන්ගේ මවු බස ද ඉගෙන ගත යුතුවේ... ඉංග්‍රීසී ජාතිකයන්ට නම් ඉතින් හරිම පහසුයි ඔවුන්ගේ රටෙයි, අනිත් රටවලයි තමන්ගේ මව් භාෂාව භාවිතා වෙන නිසා...

ඒ කොහොම වුනත් සෑම කෙනෙකුටම තමන්ට කැමති භාෂාවක් භාවිතා කිරීමට නිදහසක් හා අයිතියක් තිබේ... නමුත් මගේ නම් අදහස වෙන්නේ එකම මව් භාෂාවකට හිමිකම් කියන දෙන්නෙක් සන්නිවේදනය කිරීම සඳහා තමන්ගේ මව් භාෂාවම යොදා ගැනීම සුදුසුයි කියලයි... මොකද කවුරු මොනවා කිව්වත් සෑම කෙනෙකුටම තමන් කරන සන්නිවේදනය මනා කොට තේරෙන්නේ තමන්ගේ මව් භාෂාවෙන් සිදු කලොත් නිසා... ඒ දේ අනික පහසුයි... නමුත් වෙනත් භාෂාවක්, මවු බසට වඩා හොඳට හැසිරවීමට පහසුනම් හෝ ප්‍රගුණ කිරීමට අවශ්‍ය නම් ඒක තෝරාගත්තාට කිසිම ප්‍රශ්නයක් නෑ... මෙතන දී ⁣තේරුම් ගත යුත්තේ සන්නිවේදනය නිවැරදිවම හා පහසුවටම කරගත හැකි භාෂාව තෝරා ගැනීම තුලින් සාර්ථක සන්නිවේදනයක් සිදු කිරීමට හැකි බවත්, පොෂ් වෙන්න හෝ කාට හරි පේන්න හෝ මවා ගත්තු පුහු මාන්නයකින් කටයුතු කිරීමට භාෂාවක් භාවිතය නිෂ්ඵල දෙයක් බවත් ය... එලෙසම තමන් වෙන භාෂාවකින් සන්නිවේදන කටයුතු කරා කියලා තමන්ගේ මව් භාෂාවට හෝ වෙනත් අයකුගේ මව් භාෂාවකට අපහාස කරනවා නම් හෝ සමච්චලයට ලක් කරනවා නම් ඒක ඒ කෙනාගේ පැහැදිලි නූගත්කම බව දැන ගත යුතු වේ...

✍️නිපුන කිරිඇල්ල
🖼අන්තර්ජාලය෴

24/06/2022

විභාගයක් කිව්වාම අප බොහෝ දෙනෙකුට සිහියට නැගෙන්නේ ලිඛිත පරීක්ෂණයි... මන්ද අප කුඩා කල සිට විභාග කියා මුහුණ දී ඇත්තේ වැඩිපුරම ලිඛිත පරීක්ෂණවලට බැවිනි... එහෙත් පුද්ගලයෙකුගේ දැනුම හෝ යම් විෂයකට ඇති ප්‍රවීණතාවය හෝ කුසලතාවය මැන බලන විධිමත් පරීක්ෂණයකට විභාගයක් යැයි කියනු ලැබේ... එනම් 'විභාගය' යන වචනය ලිවීම පමණක් පදනම් කරගත් දෙයක් නොව කියවීම, කතා කිරීම, යම්කිසි යන්ත්‍රයක් හැසිරවීම, වාහනයක් පැදවීම, ශාරීරික යෝග්‍යතා (ක්‍රීඩකයන්, හමුදා භටයන් වැනි අය සඳහා දිවීම, පැනීම, පිහිනීම, ඉලක්කයට වෙඩි තැබීම යනාදිය) වැනි විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් පදනම් කර ගත් වචනයකි... විභාගයකින් ඇති ඵලය නම් යම් කාර්යයක් කිරීමට ඒ සඳහා සුදුස්සකු සොයා ගැනීමයි...

නමුත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදු වී ඇත්තේ මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් ඉගෙන ගෙන ඒ දැනුමෙන් පැය දෙකක තුනක ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු තමන්ගේ මතකයෙන් ලිඛිතව ඉදිරිපත් කිරීමටයි... එවිට ඔවුන් ලබාගෙන ඇති සියලු දැනුම සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක්වෙනවා ද යන්න සැක සහිතය... එයිනුත් සමත් වන්නන් හට වෘත්තිමය තත්වයට ගියහොත් මුහුණ දෙන්නට වෙන්නේ බොහෝ විට හාත්පසින්ම වෙනස් දෙයකටයි... එනම් වෘත්තියෙහි දී බලන්නේ විභාගයක් ලියලා සමත්ද කියන එක නොව දෙන වැඩේ නිවැරදිව ඉක්මනට කරන්න පුළුවන්ද කියන එකයි... ඒ වගේම අප උගත් දේවල් නැතුව වෘත්තියෙහි දී වෙනත් අළුත් දෙයක් ඉගෙන ගෙන වෘත්තියෙහි අවශ්‍යතා අනුව කටයුතු කරන්නට ඇතැම් වෙලාවට අපට සිදුවේ... එවිට මෙම ලිඛිත පරීක්ෂණ ක්‍රමයෙන් අර්ථයක් සිදු වෙනවාද කියා ගැටළුවක් මා හට පැන නැගේ... තවද ලිඛිත පරීක්ෂණයම ඉලක්ක කරගෙන කෙටිකාලීනව කරුණු කාරනා පාඩම් කර විභාගය අවසන් වූ පසු සියල්ල අමතක කිරීමට ද බොහෝ සිසුන් පෙළඹී තිබේ... එසේත් නොමැති නම් විභාග සමත් වීම සඳහා තමන් විසින් නිම කර ඉදිරිපත් කල යුතු පැවරුම්, ව්‍යපෘති වැනි දේවල් තව කෙනෙකුගෙන් පිටපත් කිරීම හෝ තව කෙනෙකු ලවා කරවා ගැනීමට ද ඇතැමුන් පෙළඹේ... ඒවායින් විභාගය සමත් වුවත් කිසිදු ඵලයක් සිදු නොවේ... මන්ද වෘත්තියේ දී තමන්ට පැවරෙන රාජකාරිය තනිව කර ගැනීමට නොහැකි පුද්ගලයන් ඉන් බිහිවෙන බැවිනි... එවිට අසවල් තැනින් ඉගෙනගෙන අසවල් දේ තිබ්බත් වැඩක් කර ගන්න බැරි පුද්ගලයෙක් ලෙස තමන් ද තමන් ඉගෙන ගත්තු තැනද තමන්ගේ අධ්‍යපනික සුදුසුකම ද හෑල්ලුවට ලක්වනු ඇත...

කෙසේ වෙතත් මතක ශක්තිය හා ලිවීමේ වේගය පදනම් කරගෙන කරන ලිඛිත පරීක්ෂණ සඳහා සාර්ථකව මුහුණ දීමට මා විභාගවලදී ලැබූ අත්දැකීමවලින් ක්‍රම දෙකකට කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි... එයින් පළමු ක්‍රමය වන්නේ පියවරෙන් පියවර මුල සිටම සාර්ථකව ගමන් කිරීමයි... දෙවැනි ක්‍රමය වන්නේ පළමු ක්‍රමය වැරදුන පසු අන්තිම මොහොතේ ගනු ලබන ක්ෂණික පියවරයි... මෙයින් පළමු ක්‍රමයෙන් සාර්ථක හා ඉහළ ප්‍රතිඵල ලැබිය හැකි අතර දෙවෙනි ක්‍රමයෙන් කොහොම හරි අසමත් නොවී විභාගය ගොඩ දාගන්නට පුළුවන් වේ... එහෙත් දෙවෙනි ක්‍රමයට දක්ෂ නම් යම් කිසි මට්ටමක් දක්වා සාර්ථක විය හැකි අතර මා ඔබට යෝජනා කරන්නේ මින් පළමු ක්‍රමයට හුරුවීම බෙහෙවින් සුදුසුයි කියායි...

පළමු ක්‍රමය අනුව ගණිතමය ගැටළු විසඳීමට විභාගයට ඇති නම් ඔබ කලයුත්තේ මුල සිටම ගණිත කර්ම හා සූත්‍ර හුරු වීමට පුළුවන් තරම් ගැටළු විසඳීමයි... මා දන්නා විදියට ගණිතයෙහි සූත්‍ර කටපාඩම් කලා කියා ගැටළුව දකින විට ඔබට මොන සූත්‍රයද යොදන්නේ කියන එක ඔළුවට එන්නේ නැත... නමුත් පුළුවන් තරම් ගැටළු විසඳූ පසු විභායේදී අදාළ ප්‍රශ්නයේදී ඒ ඒ සූත්‍රය ආයාසයෙන්ම එන්නේ පළපුරුදු රියදුරෙක් නොදැනීම තමන් එලවන වාහනයේ ගියර මාරු කරනවා වාගේය... ඒ වාගේම නියමිත වේලාවට අවසන් කිරීමට වේගය හදාගත යුත්තේද පුළුවන් තරම් ගැටළු සෑදීමෙන්ය... යම් ගැටළුවක් හා සමාන ගැටළු රාශියක් කිරීමේ දී එවැනි ගැටළුවක් විසඳීමට ඇති කාල වෙලාව අඩු කර ගත හැක... එනම් වේගය වැඩි කරගත හැක...

රචනාමය ප්‍රශ්න හෝ කෙටි උත්තර ලිවීමට සූදානම් වීමේදී පාඩමට අදාළ ඉතාමත් වැදගත් හා අත්‍යාවශ්‍යම කරුණු කාරණා පමණක් තමන්ට ඉතාමත් පැහැදිලිව තේරුම් ගත හැකි ආකාරයට කෙටි සටහනක් ලෙස තමන්ගේම භාෂාවකින් සටහන් කර ගැනීම බෙහෙවින් වැදගත් වේ... එම සටහන් කර ගන්නා භාෂාව රූප සටහනක් හෝ කටු සටහනක් හෝ ප්‍රස්තාරයක් විය හැකියි... තවද එම සටහන් කරගන්නා කරුණු කාරණා තමන්ගේම කාලීන උදාහරණත් සමඟ පැහැදිලි කර සටහන් කරගැනීමෙන් බොහෝ කලක් මතක තබා ගැනීමට එයම ඉවහල් වේ... මෙම සටහන ගුරුවරයා උගන්වන වේලාවේදීම සාදාගැනීම සුදුසු වේ... සමහර විට ගුරුවරයා උගන්වන දේ ඒ වෙලාවේදී ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන්... එහෙනම් කල යුත්තේ ඔබ භාවිතා කරන ජංගම දුරකථකයෙන් හෝ හඩපටිගත කරන උපකරණයකින් උගන්වන සියල්ලය පටිගත කර ගෙදර ඇවිත් නිස්කලංක වෙලාවක කනට ගහගන්න ඒවා (headset/earphone) ගහගෙන හෝ නොගහගෙන හොඳින් ඇසීමයි... එයින් පන්තියේදී අසා තේරුම් ගන්නවාටත් වඩා හොඳට තේරුම් ගැනීමට ඔබට හැකිවනු ඇත... එසේත් නොමැති නම් නොතේරෙන පාඩම් අන්තර්ජාලය හරහා ද පැහැදිලිව ඉගෙන ගැනීමට ඔබට අවකාශය ඇත... ඕනෑම විෂයකට අදාළව ඕනෑම භාෂාවකින් YouTube වැනි මාධ්‍ය තුල ඕනෑතරම් tutorial වීඩියෝ තිබේ... එසේත් නොමැති නම් Google search engine එකේ ඔබට ඇති වුන ගැටලුව හෙවීම තුලින් ඔබට වගේම ලොකේ ඒ ගැටළුම ඇති වුන අනිත් අයට forums තුල ලැබිලා තියෙන පිළිතුරු බලාගන්නත් පුළුවනි... කෙසේ හෝ විභාගයට යන්න ඔන්න මෙන්න තියා පාඩමේ සාරාංශය ඔළුවට දාගන්න ඔබට උදව් වෙන්නේ ඒ කෙටි සටහනයි... තවද නිරන්තරයෙන් එදා දවසට කරන්න දීපු වැඩ එදාම කිරීමත් එදා දවසට කරපු ඒවට අදාළ ප්‍රශ්න පුළුවන් තරම් එදාට කිරීමත් බෙහෙවින්ම වැදගත් වේ...

දෙවන ක්‍රමය අනුව ගණිතමය ගැටළු විසඳීම සම්බන්ධයෙන් කළ යුතු දේවල් නම් පාඩමෙන් පාඩමට ඇති සියළුම සූත්‍ර විසඳූ උදාහරණත් සමඟ පැහැදිලිව කොලයක සටහන් කර ගැනීමයි... එනම් සිද්ධාන්තය ගැටළුව හා විසඳීම වශයෙන් වෙන වෙනම සිද්ධාන්තවලට සටහන් තබා ගත යුතුයි... ඉන්පසු එකින් එක විසඳපු ආකාරය තේරුම් ගන්න උත්සාහ කල යුතුයි... නැවත නැවත ඒ සටහන බලා තේරුම් ගත් පසු පසු ගිය අවුරුදුවල ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම ආරම්භ කළ යුතුයි... අවම වශයෙන් පසුගිය අවුරුදු දෙක තුනේවත් ප්‍රශ්න පත්‍ර කළ යුතුයි... රචනා හා අනෙක් කෙටි ප්‍රශ්න සඳහා සූදානම් වීමේදී දෙවන ක්‍රමය අනුව පාඩමේ සාරංශයක් හදා ගත යුතුවේ... විෂය නිර්දේශයක් හොයාගෙන ඒකේ මාතෘකා ටිකට අදාළව සාරාංශගත සටහන සාදා ගන්න... මන්ද විෂය නිර්දේශය ආවරණය වන පරිදි තමයි බොහෝ විට ප්‍රශ්න පත්‍රය සාදනු ලබන්නේ... තවද ප්‍රශ්න පත්‍රවල ගැටළු දෙන රටාව අධ්‍යයනය කර යම් යම් නිගමනවලට පැමිණ ඒවි යැයි සිතිය හැකි ප්‍රශ්න සොයා ගත හැක... නමුත් එයට බෙහෙවින් පළපුරුද්ද තිබිය යුතුය... බොහෝ විටි උසස් අධ්‍යාපනයේදී නම් exam tips ගුරුවරුන් විසින්ම ලබා දේ... ඒවාට අදාළව සාරංශගත කෙටි සටහන සාදාගත්තාම ප්‍රමාණවත්... ඔය විදියට සාදා ගත් සටහන් ලැබී ඇති කෙටි කාලය තුලදී නැවත නැවත බැලීමෙන් යම්තාක් දුරට හෝ සාර්ථකවීමට උපකාරී වේ... හැබැයි එයට හොඳ සිහි කල්පනාවක් තිබිය යුතු වේ...

මෙලෙස ක්‍රම දෙකකට ලිඛිත පරීක්ෂණවලට සූදානම් වී සාර්ථක ලෙස මුහුණ දිය හැකි වේ... තවද යම් පාඩමකට වැඩිදුර අධ්‍යනය සඳහා විවිධ කතුවරුන් ලියපු පොත් (reference book) ගැන ගුරුවරුන් ඔබ දැනුවත් කරාවි... එවැනි පොත් ඇත්තේ මුල ඉඳන් අගට කියවීමට නොව පාඩමට අදාළ කරුණ ගැන විතරක් වැඩිදුර කියවා තේරුම් ගැනීමට නැතහොත් අධ්‍යයනය කිරීමට බව දත යුතුවේ...

විභාගයකට යන කොට කලින් දවසේ වේලාසන හොඳට නිදාගත යුතුවේ... නිදිමරලා නම් කවදාවත් විභාගයකට යන්න එපා දන්න දේ උනත් මතකයට නොපැමිණේවි... තවද විභාග ශාලාවට කල් ඇතුව ගොස් තමන්ගේ ආසනය හොයා ගත යුතුවේ... මන්ද කලබලවීමත් දන්න දේ මතකයට නොපැමිණීමට හේතුවක් වන නිසා... පුළුවන් තරම් සැහැල්ලුවෙන් වෙන වෙන ලෝකවල ජීවත් වෙන එක අමතක කරලා විභාගේ ලියන්න පටන් ගන්න... දෙතුන් පාරක් හොඳට ප්‍රශ්නය කියවලා තේරුම් ගන්න... ඉන් පසු පිළිතුරු ලියන්න... කටු කොලයක් ඉල්ලගෙන ඒකේ ප්‍රශ්නයට අදාළ උත්තරය ගැලපීම හෝ ප්‍රශ්නය පැහැදිලි වෙන්න සටහනක් ගැසීම කැමති නම් කල හැකියි පහසුව සඳහා... කැමති ප්‍රශ්නයක් තොරා ගන්න තියෙන විටත් ඉස්සෙලාම සියළුම ප්‍රශ්න හොඳින් කියවාගෙන පසුව තමන්ට ලිවිය හැකි පහසුම ප්‍රශ්න තෝරාගත යුතු වේ... අසවල් ප්‍රශ්නයටමයි ලියන්නේ කියලා කල් ඇතුව සැලසුම් කරන් යන්න එපා... මොකද ඊට වඩා ලේසි වෙන්න පුළුවන් සැලසුම් නොකරපු ප්‍රශ්නය... විභාගය ලියන කොට නිදිමත, කෝපය, වෙන වෙන දේවල් සිතීම, පාඩම් කරපු කරුනු පිළිබඳ සැකය, කම්මැලිකම මනසෙන් අයින් කළ යුතු වේ... එවිටයි මතක ශක්තිය හොඳට වැඩ කරන්නේ... තමන් පිළිබඳ ආත්ම ශක්තියක් ගොඩ නගා ගැනීමයි වැදගත්ම දේ... "මට පුළුවන්, මම කොහොම හරි සමත් වෙනවා" කියන දේ තමන්ගේ හදවතේ තියනවා නම් මොනම දේකටවත් බය විය යුතු නැත...

හැම විටම ඉගෙන ගැනීම කැමැත්තෙන්, අවබෝධයෙන් හා තනිව සිදු කිරීමෙන් ඔබට විභාග සමත් වීමත් ඉන්පසු වෘත්තියෙන් සාර්ථක වීමත් අපහසු කාර්යයක් නොවෙනු ඇත... ජාත්‍යන්තර හා රාජ්‍ය විශ්විද්‍යාල වල උපාධි හා පශ්චාත් උපාධි හදාරපු අත්දැකීම් ද පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල වෘත්තිමය අත්දැකීම් ද පදනම් කරගෙන මා මේ සටහන තැබුවෙමි...

✍️නිපුන කිරිඇල්ල
🖼අන්තර්ජාලය෴

Website