Eesha Nirmani

Eesha Nirmani

This is Eesha Nirmani official facebok page.

08/03/2023

බිළිඳියක් - දැරිවියක් - ලමිස්සියක් මේ හැමදේම එක්ක බැලුවම , ඒ හැම වචනයකම ඉන්නේ දියණියක් . එහෙම නැත්නම් ගැහැණියක් . ගැහැණියක් කියන්නෙම ගැහැණිය කියන්නෙ ඉවසීම - දරාගැනීම අතින් ඉස්සරහින්ම ඉන්න මනුස්ස ආත්මයකට . ගැහැණියකට මූණ දෙන්න වෙන අත්දැකීම් එක්ක තමයි ගැහැණියකගෙ වර්තමානය - අනාගතය වෙනුවෙන් ඒ ඒ ගැහැණිය මොන යම් හෝ විදියකට තමන්ගෙ ජීවිතය මේ සමාජය තුල පරිවර්තනය කරවන්නෙ . ගැහැණියකට ඕනම දේ තමයි ඉවසීම සහ දරාගැනීම කියන්නෙ . සමහර ගැහැණු ඉන්නවා ජීවීතේ බොහෝ දේ තනිවම විඳ දරාගෙන හුස්ම ගන්න . ගැහැණියක් වැඩි වියට පත් වූ තැන ඉඳන් මාසයක් ගානේ උහුලන වේදනාව ගැන දන්නෙ ගැහැණියක්ම විතරයි . එතනින් එහාට ගියාම විවාහ වෙලා දරුවෙක් කුසට ආවම ඒ ගැහැණිය තමන්ගෙ සියලු දේ ඒ කුසේ ඉන්න දරුවා වෙනුවෙන් කැප කරනවා .

මාස නවයක් හෝ දහයක් තිස්සේම ගැහැණිය බැඳී සිටින්නේ ඒ කුස තුල වැඩෙන දරුවා එක්ක . දරුවකු කුස පිළිසිඳගන්න එක - ඒ දරුවා කුස තුල දරාගෙන ඉන්න එක ගැහැණියකට තියෙන ලොකුම අභියෝගයක් . ප්‍රශ්න කෝටියක් එනවා දරුවෙක් කුස තියන් ඉන්න ගැහැණියකට . නාද්දි කොණ්ඩෙ යන එක - චූටි චූටි බිබිලි එන එක - තුවාල - ඉන්ජෙක්ෂන් ගහන්න වෙන එක අඬද්දි හිනාවෙද්දි බබාගෙ බරත් එක්ක මුත්‍රාශයට ඒ බර දරන්න බැරි වීම නිසා මුත්‍රා යාම - උණ / කැස්ස / හෙම්බිරිස්සාවක් හැදුනම බේතක් බොන එක ගැන හිතන්න උනාම - ගර්භනී කාලයේදි නිතර ඇතිවන මුත්‍රා ආසාදන තත්වයන් නිසා ඇතිවන අපහසුතා කැමති ඇඳුමක් අඳින්න නැති වෙන එක කැමති කෑමක් කන්න බැරි වෙන එක පවා ගැහැණියම් මවක් බවට පරිවර්තනය වෙද්දි ඉවසීමෙන් දරාගන්නවා . මානසික ආතතිය එක්ක හැඟීම් වෙනස් වීම පවා ඇය ඉවසීමේන් දරාගන්නවා අනික් කිසි කෙනෙක්ගෙ හැඟීම් වලට බාධාවක් නොවෙන්න . ඇගේ මුළු ශරීර පද්ධතියම දරුවා මෙලොව එළිය දකිනකල්ම ඒ මාස දහයටම කැප කරනවා . දරු ප්‍රසූතියකදි පවා අසීමාන්තික වේදනාවක් ඇය විඳ දරාගන්නවා . එක සාමාන්‍ය දරු ප්‍රසූතියක් වුවත් සිසේරියන් සැත්කමක් වූවත් ඇයට දැනෙන වේදනාවේ අඩුවක් නෑ . ඒත් ගැහැණියක් මවක් වෙනකොට මේ හැමදේම එකම එක හිනාවකින් ඉවසීමෙන් දරාගන්න පුළුවන් එකම කෙනා ගැහැණිය විතරමයි . ඇයි දන්නවද ගැහැණියක් දන්නව හැමදේකම වටිනාකම . ආදරණීය පිරිමියෙක් එක්ක බැඳුනු ගැහැණියක් නම් ඒ කාලය ලස්සනට ගෙවයි . ඒත් සමහර අමුතු පිරිමි ලැබුන ගැහැණියකට පිරිමියෙක් ගෙන් තියෙන දායකත්වය මොකක්ද . එහෙම ගෑනු මේ අපේ රටේ කොච්චර ඉන්නවද . එතනින් එහාට ගත්තම දරුවා බිහි වුනාට පස්සෙ ඉඳලා කවදහරි තමන්ගෙන් ඈත් වෙලා ජීවිතය ගොඩ නගාගන්න දවසක් එනකල්ම ඒ දරුවගෙ හැම හැඟීමක්ම - හැම සිතුවිල්ලක්ම ගැහැණියක් මුලු ජීවිතය පුරාවටම දරාගන්නවා . ඒ වගේම අනික් හැම බැඳීමකින්ම අත් විඳින්න වෙන හැම දේමත් ගැහැණිය ඉවසීමෙන් දරාගන්නවා . අවසානයේදී හැම ගැහැණියක්ම ඒ හැමදේම එකම එක හිනාවකින් විඳගන්නවා .

ඉතිං ගැහැණිය කියන්නෙම අසීමාන්තිකව ආදරය හොයන කෙනෙක් . අසීමාන්තිකව ආදරය ලැබිය යුතු අසීමාන්තිකව ආදරය විඳිය යුතු මිනිස් ආත්මයක් . ගැහැණියට අසීමාන්තිකව ආදරය කරන්න . එවිට ඔබට ඇයගේ ශක්තිය - ධෛර්යමත් බව - ඉවසීම - දරාගැනීම - දුක සතුට සිනහව විඳගෙන අතීතයෙන් වර්තමානයටත් වර්තමානයෙන් අනාගතයටත් ඇවිදගෙන යන සියලු දේ ඉවසා දරාගනිමින් ජීවිතයට එන හැම අත්දැකීමක් දිහාම උපේක්ෂාවෙන් දකිමින් එකම එක හිනාවකින් ජීවිතය විඳින සහ විඳවන අපූර්වතම මිනිස් ආත්මයක් දකින්න පුළුවන් ...

•• ඊශා නිර්මාණි ••
( නිමු )

06/03/2023

දන්නවද .....

තාත්තෙක්ට
දුවෙක් කියන්නෙම
ලස්සන මලක්
ඒ වගේමයි
අයියා කෙනෙක්ට
නංගියෙක් කියන්නෙම
ලස්සන මලක්
කොහොමත්
ගෑණු දරුවෙක් කියන්නෙම
ලස්සනට පිපෙන මලකට
ඒ මල පිපෙන්න
දාන වතුර ටිකේ ඉඳන්ම
ඒ මල ඉගෙන ගන්නවා
සැහෙන්න දේවල්
හුළඟෙන් - වැස්සෙන් - අව්වෙන්
තමන්ව රැකගන්න
ඒ මල ඉගෙන ගන්නවා
ඉතිං ..............
ගෑනු දරුවෙක් කියන්නෙම
ලස්සනට පිපුණ මලකට
ඒ ගෑණු දරුවගෙ මූණේ
හිනාවකට පුළුවන්
තව හිතක් ලස්සන කරන්න .....
කවදමහරි දවසක
තාත්තෙක්ට - අයියෙක්ට
සිද්ද වෙනවා
ඒ ලස්සන මල දරාගන්න
දවසක පර වෙලා යනකල්ම
පර නොවී රැකගන්න
ආදරණීය තාත්තෙක්ට පුළුවන්
ආදරණීය අයියෙක්ට පුළුවන්
ඔයත් ලස්සන මලක් වෙන්න
ආදරණීය තාත්තෙක්ගෙ
ආදරණීය අයියෙක්ගෙ
පපුව මැද පිපුණ .........

•• ඊශා නිර්මාණි ••
( නිමු )

18/02/2023

දන්නවද .... අපි ගොඩක් වෙලාවන් වල හිත හොඳ වැඩිකමට උන්නම ගොඩක් අය එන්නෙම වාසි බලාගෙන . දුක කියාගෙන ඔයා ලඟ ඉන්න සමහරු ඔයාගෙන් වාසි ගන්න ඉන්න කපටි මිනිස්සු , ඒ අයගෙන් ඈත් වෙලා තමන්ව ගොඩ නගාගන්න කියලා තමන්ගෙමයි කියලා කෙනෙක්ට තේරුම් කලාට ඒ කෙනාට ඒ වෙලාවට ඒක නොතේරේවී . මොකද ඕන කෙනෙක් තමන්ගෙ හොඳ ස්වරූපය එළියට දෙන්නෙම අවශ්‍යතාව අනූව නිසා . අපිව මිනිස්සු රවට්ටන්නේ හරිම සූක්ෂම විදියට . සල්ලි අතේ ගැවසෙන කෙනෙක්ව නම් , එකපාරටම නෙවේ ටික ටික අනුකම්පාව පෙන්වලා නම්මවගන්න පුළුවන් කියලා ඕන කෙනෙක් දන්නවා . එහෙම කෙනෙක්ගෙ මොනාම හරි දුර්වලතාවයක් අල්ලගන්න සමහර ගෑණුත් - සමහර පිරිමිත් හරි දක්ශයි . සමහර ගෑනු ඉන්නවා තවත් ගෑනියෙක්ගෙ මොනාහරි අසරණකමකින් උදව් ගන්න අර අදින . එහෙම ගෑනූ තමන් ලඟ නැති අහිංසකකමක් - අසරණකමක් එළියට දාලා හිත දිනාගන්න තමා ඉස්සෙල්ලම බලන්නෙ . ඒවට අහුවෙන ගෑණු ඇත්තටම පව් . මොකද අන්තිම අවස්ථාවක් එනකල් කිසිම දෙයක් හරි හැටි තේරුම් නොගෙන නෑ එයා එහෙම නෑ , එයා හරි හොඳයි කියන මානසික මට්ටමක ඉන්න නිසා . කිසිම කෙනෙක්ව කාලයක් යනකල් 100% අඳුනගන්න බෑ . හැබැයි කවුරුම හරි කෙනෙක් කියනවනම් ඒ කෙනාගෙ මොනාම හරිදෙයක් නිසා සමහරවිට ඔයා තමන්ව අන්දන් ඉන්න - රවට්ටන කෙනාව ඔයා අඳුනගෙන තියෙන මුල්ම තැන ඉඳන් හොයලා - බලලා - හිතලා ඒ කෙනා මෙහෙමයි ඈතින් තියාගන්න එහෙම නැත්නම් දැන්ම අතෑරලා දාන්න කියලා එතන මොනාමහරි හේතුවක් තියෙනව කියලා හිතන්න තරම් උත්සහවන්ත වෙන්න . මොකද ඔයාට ලඟම කෙනෙක් කවදාවත් ඔයාට වරදක් කරන්නෙ නෑ . මොකද ඒ කවුරු උනත් ඔයාට ලඟම කෙනා දෙයක් කියනවනම් ඒ කියන්නෙම හොඳට හොයලා බලලා ඒ කෙනාට දැනෙන දේ අනූව . ඒ නිසා ඕනම වෙලාවක තමන්ට ලගම ඉන්න කෙනාට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න . ඔයාට ඒ කෙනාගෙ ආදරේ නම් නොදැනේවි කවදාකවත් . හැබැයි ඒ කියපු පාරේ ගිය දාක උඹ උඹේ ජීවීතේ ලොකු තැනක හිඳීවි අත්දැකීම් වලින් පරිපූර්ණව .

- ඊශා නිර්මාණි -
( නිමු )

16/02/2023

ඔයා කතා කරන්න කැමති
මමත් කතා කරන්න කැමති
හැබැයි ,
මම ආසම මගේ ලඟට වෙලා
කියවන ඔයාව අහන් ඉන්න .......

ඔයා හිනාවෙන්න කැමති
මමත් හිනාවෙන්න කැමති
හැබැයි ,
මම ආසම මගේ ලඟට වෙලා
හිනාවෙන ඔයා දිහා බලන් ඉන්න ........

ඔයා වැස්සට කැමති
මමත් වැස්සට කැමති
අන්න එතනදි ඔයා ආස
මම වැස්සෙ තෙමෙනවට .......
ඔයත් කැමති තෙමෙන්න
ඒත් .........
ඔයා වැඩිපුරම ආස
මම තෙමිලා ඉන්නවට .......

දන්නවද ඔයාලා ........
ආදරය කියන්නේම ඇබ්බැහිවීමක් . උඩ මම ඒ ලීවේ ආදරය ගැන කෙල්ලෙක්ගෙ හිතට දැනුනම හිතෙන දේවල් ටිකක් . ජීවීතේට ආදරය කියන හැඟීම දැනුනට පස්සෙ , මේ අපේ සොබාදහම පවා අපි එක්ක කතා කරන්න ගන්නවා , අපි එක්ක හිනා වෙන්න ගන්නවා , අපිව අහන් ඉන්නවා , අපි තනි වෙන තත්පර වලදි , අපිට මතක එක්ක තනි වෙන්න කියලා දෙනවා . හැබැයි ............ ඒ ආදරයම අපෙන් ඈතට ගියාමත් අර පුරුදු සොබාදහම ම අපි එක්ක ඉන්නවා . අපිව සතුටු කරන්න පුංචි පුංචි දේවල් කරනවා . වැස්ස එවන්නේම දුක දියකරවන්න . අව්ව එවන්නෙම ශක්තිමත් වෙන්න . සුළඟ එවන්නෙම එහෙට මෙහෙට වැනෙන්නෙ නැතිව කෙලින් හිටගෙන තමන්ව ශක්තිමත්ව ගොඩ නඟා ගන්න . විදුලි කොටන්නෙ - අකුණු ගහන්නෙ ජීවීතයට එන අත්දැකීම් වලට බය නැතුව මූණ දෙන්න පුළුවන් වෙන්න . නියං කාල එවන්නෙ ජීවීතේ තියෙන කටුක බව තේරුම් කරවන්න . නායා යෑම් එවන්නෙ ජීවීතේටත් ඒ වගේ අහේතුකව කඩා වැටීම් එන්න පුළුවන් කියලා කියන්න . ගං වතුර එවන්නෙ අපි කොච්චර හඬා වැලපුණත් පලක් නෑ කියලා කියන්න . සීතල - මීදුම - පින්න එන්නෙම අපිට දරාගැනීම - ඉවසීම හුරු කරවන්න . ඉතිං සොබාදහම කියන්නේම අපේ ජීවිතයට එන අත්දැකීම් වලට හරි අපූරු පාඩම් උගන්වන මිලක් අය නොකරන සොඳුරු පියස්සක් . කතා කරන්න මේ ගහ - කොළ , ඇළ - දොළ , සතා - සීපාවා , අහස - වළාකුළු , ඉර - හඳ - තරු මේ හැමදේම එක්ක . බැඳීම් ඔයාලා එක්ක කොහොම උන්නත් - නැතත් සොබාදහම ඒ හැම වෙලාවකට ඔයාලට උත්තර දේවි . ඔයාලගෙ මූණට හිනාවක් ගෙනේවි . ජීවිතය කියන්නේම සතුටින් විඳින්න තියෙන අපූරුම දේකට . මේ හමන හුළඟට හුස්මක් දීලා බලන්න . ඔයා ආයම හුස්ම ගන්නේ සොබාදහම ඔබට හුස්මක් තෑගි කරන නිසා . ඉතිං ....... අපි ඔක්කෝටම වඩා ආදරේ කරන්න ඕන සොබාදහමට . මොකද දන්නවද අපි අපේ ජීවිත වල මේ හැමදේම කරන්නේ සොබාදහමට පිං සිද්ද වෙන්න .

•• ඊශා නිර්මාණි ••
( නිමු )

15/02/2023

ගැහැණිය කියන්නෙ ඉවසීම - දරාගැනීම අතින් ඉස්සරහින්ම ඉන්න මනුස්ස ආත්මයක් . ගැහැණියකට මූණ දෙන්න වෙන අත්දැකීම් එක්ක තමයි ගැහැණියකගෙ වර්තමානය - අනාගතය වෙනුවෙන් ඒ ඒ ගැහැණිය මොන යම් හෝ විදියකට මේ සමාජය තුල පරිවර්තනය වෙන්නෙ . ගැහැණියකට ඕනම දේ තමයි ඉවසීම සහ දරාගැනීම කියන්නෙ . සමහර ගැහැණු ඉන්නවා ජීවීතේ බොහෝ දේ තනිවම විඳ දරාගෙන හුස්ම ගත්ත ඇවිදින මළ කඳන් වගේ හැඟීම් මියගිය . එහෙම ගැහැණු ලඟ තියෙන්නෙම ආදරයක් එහෙමත් නැත්නම් සෙනෙහසක් නොලැබීම නිසා හැඟීම් නිදහසේ බෙදාගන්න බැරි වුන නිසා ඇති වුන පීඩන තත්වයක් . ආදරය කියන හැඟීම ගත්තම ඕනම ගැහැණියක් නෙවේ , සමහර ගැහැණු ඉන්නවා ඒ බැඳීමෙන් තමන්ගෙ පපුව පුරවගෙන ඒ පිරිමියාට ආදරය කරන . එහෙම බැඳීමකදි ගැහැණිය හරි අකමැති තමන්ගෙ ආදරය තව කෙනෙක් ගෙ ඒ කියන්නෙ තවත් ගැහැණියක් සමඟ ඇස් වල ගැටෙනවට , ස්පර්ශ වෙනවට , අනවශ්‍ය විහිලු - කතා බහ සිද්ද වෙනවට . ඒක ආත්මාර්ථකාමී ආදර හැඟීමක් . හැබැයි ඔයාලා දන්නවද එතන තියෙන්නේම අසීමාන්තික ආදරයක් . මගේමයි - මගේ විතරමයි කියන ආත්මාර්ථකාමී ආදරණීය හැඟිමම විතරයි ඒ තියෙන්නෙ . එහෙම ගෑනු හරි අකමැති පිරිමියා නිකරුණේ තමන්ව සැක කරනවට . සැකය කියන්නේම ආදරය වැඩි උනාම එන දෙයක් . ඒත් ඒ සැකය අවිශ්වාසය නොමනා විදියට එළියට ආවම ගැහැණියගෙ හිතට දැනෙන්නෙ දුකක් එක්කම කළකිරීමක් . ගැහැණිය කේන්ති ගන්නේම දුක - කළකිරීම වැඩිකමට කියලා සමහර පිරිමි ආත්ම තේරුම් ගන්නෙ නෑ . ඕනම ගැහැණියක් අතීතයේ මොනාම හරි වරදක් කරලා තිබුණා හෝ නැතා පපුව පුරවගත්ත ආත්මාර්ථකාමී ආදරයක බැඳුනාට පස්සෙ කිසිම විදියකින් අඩුම තරමේ බැල්මකින්වත් - ස්පර්ශයකිනවත් තමන්ගෙ ආදරවන්තයට වරදක් කරන්නෙ නෑ . එහෙව් ගැහැණු අකමැතී නොමනා වචන අහගන්න තමන්ගේ ආදරවන්තයාගෙන් . එහෙව් ගැහැණු තමන්ගේවත් - ඒ ආදරවන්තයාගෙවත් අතීත සිදුවීම් එක්ක ව‍ර්තමානයටවත් - අනාගතයටවත් ඇවිදන් යන්නෙ නෑ . එහෙව් ගැහැණු ජීවත් වෙන්නෙ - හුස්ම ගන්නෙ තමන්ට ආදරෙයි කියපු පිරිමි ආත්මයේ අද කියන දවසේ ඉඳලා ඉස්සරහට . ඒ වගේ ආත්මාර්ථකාමී අසීමාන්තික ආදර හැඟීම තුළ ජීවත් වෙන ගැහැණු ඉල්ලන්නේම ආදරණීය හැඟීමක් - ආදරණීය වචනයක් . ඕන ඕපදූපයක් , ඕන විකාරයක් අහන් ඉන්න පුළුවන් සවන්දෙන්නෙක් . ඒක තමන්ගෙද අනුන්ගෙද - වැඩක් තියෙනවද නැද්ද ඒ ගැහැණියට අදාල නෑ . ඒත් සමහර පිරිමි ආත්ම වල ගති ලක්ෂන එක්ක ගැහැණිය නිහඬ වෙන තැන්ද බොහෝමයි . එහෙම නිහඬ වුන ගැහැණු කතා නොකරම ඉන්නත් - ඕන දේට විතරක් කතා කරන්න උත්තර දෙන්න නිකංම හුරු වෙනවා . ගොඩක් වෙලාවට අනවශ්‍ය විදියට අනවශ්‍ය හැසිරීම් රටා - වචන හුවමාරු නිසාම නිහඬ වෙන ගැහැණුත් ඉන්නවා . හැබැයි ගැහැණියකගෙ නිහඬ බවින් කියවෙන්නෙ නෑ ඒ ගැහැණිය තමන්ගෙ ආදරණීය පිරිමි ආත්මයට ආදරය නෑ කියලා . ආදරෙයි සෑහෙන්න . ඒ ආදරයෙන් ගැහැණිය පපුව පුරවගෙන හුස්ම ගන්නවා කියලා සමහර පිරිමි ආත්ම තවමත් විශ්වාස කරන්නෙ නෑ . තමන්ට ඔහු ළඟ තරම් රැකවරණයක් - පරිස්සමක් වෙන කොහෙවත් නෑ කියන විශ්වාසනීය හැඟීම ගැහැණියව නොවට්ටා සතුටින් තියනවා . ඒ වගේ පපුව පිරෙන්නම ආදරය පුරවගෙන ආදරය කරන ගැහැණු ආත්මයක් පිරිමියෙක්ට ලැබෙන්නෙ කලාතුරකින් . දන්නවද සමහර ගැහැණු ඉන්නවා කළුයි - තව සමහරු තළෙළුයි . තවත් සමහරු සුදුයි . කෙට්ටු - බෝල ගැහැණුත් ඉන්නවා . ඕනම ගැහැණියක් හරිම ලස්සනයි වගේම සුන්දරයි ඒ ඒ කෙනාට ආවේණික වුන ගති ලක්ෂණ එක්ක . ඒත් ඒ ඕනම ගැහැණියක් වඩාත් ලස්සන වෙන්නේ සුන්දර හිතක අයිතිකාරියක් වුනාම . ගැහැණියක් ලස්සන වෙන්නේම ආදරණීය පිරිමි ආත්මයක සංසාරික හෙවනැල්ල වැටුණාම . එතකොට ඒ ගැහැණිය හැම හිත් රිදුමක්ම ඉවසගෙන ලස්සනට හිනාවෙනවා සංසාරය පුරාවටම . මොනදේ වුනත් දරාගෙන - ඉවසගෙන උන්න එහෙව් ගැහැණු ආත්මයක සංසාරික සෙවණැල්ල වුන පිරිමි ආත්ම කිසිම දවසක ජීවීතේ වැටුනේ නෑ . ආදරණීය ගැහැණු ආත්මයක් වෙන්න . ආදරණීය පිරිමි ආත්මයක සංසාරික පැතුම වෙන්න . ආදරය කියන්නෙ පරිස්සමින් හුස්ම වැටෙන - පොඩ්ඩ බැරිවෙද්දි හුස්ම නවත්තලා දාන්න පුළුවන් අසීමාන්තික හැඟීමකට .

•• ඊශා නිර්මාණි ••
( නිමු )

14/02/2023

ජීවීතේ කියන්නෙම සමහර වෙලාවට දුක - සතුට එක්ක යන ගමනක් . ඒ ගමනෙදි අපිට එක එක විදියෙ බැඳීම් හම්බෙනවා . එහෙම හම්බෙන බැඳීම් නිසා තරහක් , දුකක් , හිත් රිදවීමක් , කළකිරීමක් එන්න පුළුවන් . මොනාහරි දේකට රණ්ඩු වුනාම අපිට එන්නෙ තරහක් . ඒ වගේම තමා අපිට බැන්නම එන්නෙ දුකක් . හිත් රිදවීමක් කියන්නේ අපිට තරහවට - දුකට වඩා අපේ හිත පාරවන වචන වලට . ඒ සියල්ලෙම එකතුවක් තමයි කළකිරීමක් කියන්නේ .
එතකොට අපි එහෙම කළකිරීමක් ඇති කරගන්න ඕනද අපේ හිතට . මොනාමහරි දුක හිතෙන දෙයක් වුනාම , හිත රිදෙන දෙයක් වුනාම ඒ හැමදේකම පුංචි හරි සතුටක් ඇති ඉතුරු වෙලා අපිට මතකයට නොඑන . ඉතිං තරහවක් , දුකක් , හිත් රිදවීමක් අපේ හිතට ආවම අපිට බැරිද චූට්ටක් අපිට ඒ සිද්දිය එක්කම ආපස්සට ගිහින් සතුටු හිතෙන පුංචි තැනක් මතක් කරගන්න . එහෙම මතක් කරගන්න අපිට පුළුවන් නම් අපිට ජීවීතේ කිසිම තැනක කළකිරීමක් ඇති කරගන්නෙ නැතුව අපිට ජීවීතේ ඉස්සරහට යන්න පුළුවන් . ජීවීතේදි අපිට මූණදෙන්න වෙන හැම තරහකම , හැම දුකකදිම , හැම හිත් රිදවීමකදිම සතුටු වෙන්න පුංචි දෙයක් හොයගන්න . ආපස්සට හැරුණම එහෙම සතුටු වෙන්න දෙයක් නැත්නම් අලුතින් දෙයක් හොයාගන්න . ආස සිංදුවක් අහන්න , ඩාන්සින් කරන්න , ආස පොතක් කියවන්න , තමන් ආස කෙනෙක් එක්ක නිදහසේ කියවන්න , ඇවිදින්න යන්න , බීච් එකට යන්න . එහෙම තැනක ඔයාගෙ හිතට වද දෙන පුංචි දේ හරි ලොකු දේ හරි නැති කරන්න තරම් බලයක් තියෙනවා කියලා මතක තියාගන්න . අන්න ඒ හිත පුරවන සතුට ඔයාලගේ ජීවීතේට එකතු කරගන්න . ඒ සතුට එක්ක ජීවත් වෙන්න . අපි කවුරුත් ලඟ තියෙන බැඳීම් අපිට රිද්දුවා කියලා අපි විනාශ වෙන්න නෙවෙයි ඕන . ඒ හැම බැඳීමක් එක්කම අපි හිටපු විදිය වෙනස් කරගෙන ඒ හිටියට වඩා වෙනස් වෙලා - තමන් තමන්ම වෙලා නිදහසේ සැහැල්ලුවෙන් සතුටින් ජීවීතේ ඉස්සරහට අඩි තියලා යන්නයි ඕන . කවුරුත් කියනවනම් ඔයාට බෑ කියලා , ඔයා හිතන්න ඒ බෑ කියන්නෙ මොකක්ද ඒක ඔයාට පුළුවන් උපරිම මට්ටමින් ඒ දේවල් ලඟා කරගෙන ජීවීතේ දිනන්න . ජීවීතේ සමහර තැන් වලදි අපිට දිනන්න වෙන්නෙ රිදවීම් ඉවසගෙන නම් පොඩ්ඩක් පහු බහින්න . කියන අය ගොඩක් කතා කියයි , වට්ටයි . කමක් නෑ ඒ ඕන දෙයක් කියන්න ඉඩ දීලා ඉවසන් ඉස්සරහට යන්න උත්සහවන්ත වෙන්න . කවදාවත් කියපු කතාවක් ආය වෙනස් කරන්න බෑ . හැබැයි අපි සතුටින් ජීවීතේ දින්නම ඔය කියවපු අයට ඇතිවෙන කළකිරීම කවදාවත් ඒ අයගෙ හිත් වලින් මැරෙනකල්ම නැති වෙන්නෙ නැතුව පසුතැවීමක් විදියට ඉතුරුවෙයි .

•• ඊශා නිර්මාණි ••
( නිමු )

13/02/2023

මම හෙව්වෙම
ඔය පඹ පපුවේ හදවතක්
හැබැයි තිබ්බේම නෑ
මං හෙව්වා කාලයක් තිස්සේ
ඒත් මට හම්බ වුනේ නෑ
හැබැයි මට තිබුණා
නුඹ වෙනුවෙන්ම
උපන් ආදරයක් පිරුණු
වේදනාබර හදවතක්
උඹ කලේම
හුළඟට වැනි වැනි
මට අත වනපු එක
මට හිනා වුන එක
මං කලේම
උඹට ආදරේ කරපු එක
ඔව් ඇත්තටම
මං සිංදු කියන බෝනික්කියක්
නැවතිල්ලක් නැතුව
උඹ දිහා බලාගෙන
කියවන්න පුළුවන්
මායාකාරියක්
උඹ වටේ විතරක්ම
කැරකි කැරකි
තාලෙට පාද තියන
පිස්සු කෝච්චියක් මම
හැබැයි ඔය
පඹ පපුවෙ මං වෙනුවෙන්
හදවත වෙන් නොවුන උඹට
මං ගොඩක් ආදරේ කලා
තාමත් මං ආදරේ කරනවා
ඒක හැමදාම එහෙමම තමයි
තේරුණාද .....

දවසක
උඹ තේරුම් ගනීවී
මේ බෝනික්කි
මේ දුඹුරු ඇස් වල
කොච්චර කඳුළු පුරවගත්තද කියලා
අන්න එදාට
ඔය අත වැනුවට
ඔය විදියට හිනාවුනාට
උඹ ඔතන ඉඳීවී
මමත් උඹේ ලඟම ඉඳීවී
ඒත් ......
මගෙ හුස්ම හුලඟට මුහු වෙලා
උඹ මත්තේම තියේවි ...

•• ඊශා නිර්මාණි ••
( නිමු )

12/02/2023

අකලට පිපෙන පරවෙන සිතුවිලි අතර
නුඹ උන්නේම පපු මැද මගෙ උණුහුමට
සුළඟක වෙලී මගෙ වත නුඹ ඉම්ඹාම
සීරුනු පපු මැදම ගැහුණා තනිකමට

ඇස් පිය නොපියවෙන තුන් යම හීනයක
තරුවක් තරම් දිලුණා නුඹ හිත මැදම
ඇඳි මැකී යන බොඳ වුන සිත්තමක
නුඹෙ රුව විතරමයි තිබුණේ සන්තකව

රිදුණත් මගේ හිත නුඹ හින්දා විටක
ඉබේ පිරෙන කඳුලැලි සඟවනු කොහොම
යන්තම් වැටෙන වැහි පොදයක තෙමීගෙන
සඟවමි කදුළු හිනැහෙමි ප්‍රේමය ලඟම

උහුලමි සිහිකරමි නිවෙමියි නුඹ ලඟම
නාවත් කෙදිනවත් තරහක් නෑ හිතට
හීනයකින් ඇවිත් මුදු හාදුවකින් තෙමුව
මගෙ නළලත තෙතයි බෑ මට ඇහැරෙන්න

කඳෝකිමි එළියකින් මඟ මං අසාගෙන
එන්නම් හනික නුඹ ඉන්නා ඉසව්වට
පපුතුර බදා සඟවමි තෙත ඇස් නුඹට
හිනාවක් අරන් එනවද එන දාක ...

•• ඊශා නිර්මාණි ••
( නිමු )

10/02/2023

දන්නවද බව්වි මැණික මේක පුංචි කතාවක් .......

උඹ උඹේ අනික් නංගි බව්වි එක්ක තව බව් අයියලා තුනක් එක්ක අම්මගෙ බණ්ඩියට ආව දා ඉඳන් ඒ බව් අම්මා උඹලව රැකගන්න හිමින් හිමින් ඇවිදින හැටි උඹලා ඒ බණ්ඩිය අස්සට ආවදා ඉඳන් දැනෙන තරමට විඳගන්න ඇති . හැබැයි උඹලට ඔච්චරම දාංගලෙ තියෙන එවුන් කියලා බව් අම්ම නම් හිතන්න නැතුව ඇති . යන්තම් ඇස් ඇරගත්ත ගමන් ගේ වටේ දුවන උඹලාව එක තැනකට අරන් රැයක් දවාලක් නැතිව කිරි හදලා දීලා - කන්න දීලා ඒ දඟ වැඩ බලන් ඉන්න එක හිතට අරන් ආවෙම සතුටක් . වැටි වැටි - රෝල් වෙවි දුවන උඹලව දැක්කම ඇත්තටම හිනා යනවා . දොර ඇරපු ගමන් අර මඩුව ඇතුලෙ ඉඳන් උඹල ඔක්කොම රෝල් වෙවි - දුව දුව එන උඹලව දැක්කම හිතට එන සතුටට වචන නම් නෑ . උඹලා එක්ක උන්න ඒ බව් අයියලා තුන් දෙනාම කවුරු හරි අරන් ගිහින් දැං මාසෙකට වැඩී . ගෑනු උන උඹලා තමයි මේ වහල යට ඉතුරු උනේ . කවුරු හරි දෙන දෙයක් කාලා දාංගලෙන් දවස ගෙවාගන්න උඹල හරි අව්‍යාජ යි බව්වියේ . මිනිස්සු සත්තු ගැන උනත් බලන්නෙ පිරිමි සතෙක් අරන් ගිහින් හදාගන්න පුළුවන් නම් කියන තැන ඉඳන් . මනුස්සයෙක් ගෑනු සතෙක් හදාගන්න ගන්නෙ කලාතුරකින් . එහෙම ගත්තත් මුලින්ම කරන්නෙ ඒ ගෑනු සතාට අම්මා කෙනෙක් වෙන්න තියෙන අයිතිය නැති කරන එක . මොකද ඔයාලගෙ අම්මා - තාත්තා හොඳ ජාතියේ නෙවේනේ . අයාලේ හැදුන උඹලගෙන් පැටව් ජාතක වෙනවට සමහර මිනිස්සු අකමැති . උඹලත් හොඳ වංශෙක උනානම් උඹලගෙන් පැටව් හදවගෙන , උඹලගෙන් හම්බකරන් කන තැනට මේ සමාජයේ මිනිස්සු ඉඳී . ඉඳී නෙවේ එහෙම මිනිස්සුත් ඕන තරම් ඉන්නවා හොඳද . උඹලට මුණ නොගැහුනාට . එහෙම හැමතැනකදිම රිදවීම් ලැබෙන්නෙ ගෑනුන්ට . එකාතකට උඹලා ඒ අතිනුත් වාසනාවන්තයි . සංසාරේ මේ යන ගමනෙදි ගෑනු සත්තු උන උඹලටත් - මනුස්ස ආත්ම වල ඉන්න ගෑනු අපිටත් ඉවසීම - දරාගැනීම කියන්නේම පොදු දෙයක් .

ඉවර නෑ කතාව තේරුණාද . මේ අහන්න . දැං ඉන්නෙ උඹල දෙන්න විතරයි නෙහ් බව්වියේ බව් අම්මත් එක්ක . උදේට ඇහැරුන ගමන් ඉස්සරහ දොර අරින පමාවට ආචාර සමාචාර එක්ක , කැඩෙනකල්ම වගේ අරහෙට මෙහෙට වලිගෙත් වන වන නංගි බව්වි එක්ක එන උඹල හරි හුරතල් . උඹට මාල බව්වි කියන්නෙ කර වටේ තියෙන සුදු මාලේ නිසා කියලා උඹ දන්නෙ නෑ මං හිතන්නෙ . කමක් නෑ උඹ දැනගන්න ඕනත් නෑ . එතකොට ඔය තියෙන දාංගලේ තව වැඩිවෙයි . ටිකක් ලොකුකමත් තියෙනවනෙ බව්වි උඹට . යන යන තැන පස්සෙන් එන තරමට උඹත් - උඹෙ නංගි බව්විත් - උඹෙ අම්මත් හරි දස්සයි මැණික . මට තරහක් ඇවිත් සැර කලාම මූණ පහලට කරන් මගෙන් අයින් වෙලා ඉන්න තරමට උඹලා තුන්දෙනාම පරිස්සම් . ඒවා දැක්කම නම් මගෙ තරහා නිවෙනවා යාන්තම් හිනාවක් මගෙ මූණට දීලම .

මම මේ ඒක නෙවේ බව්වියෝ කියන්නෙ ඔයාලට . දන්නවද ...... එක අතකට උඹලා හරි වාසනාවන්තයි . මහ ලොකු බැඳීම් නැහැනේ . රෑනට එකතු වෙලා සෙල්ලම් කලාට , රංඩු උනාට ඒ දේවල් මහ ලොකු දේවල් නෙවේ . උඹලට දුකකට තියෙන්නෙ එහෙමත් දවසකට කන්න දෙයක් නැති වෙන එක විතරයි . අව්වක දි - වැස්සක දි ඕනම අගු පිලක උණුහුමට නිදාගන්න උඹලට පුළුවන් . ඉන්න ලඟම කෙනා එක්කො උඹව වදාපු අම්මා . නැත්නම් උඹට කන්න දීපු මනුස්ස හිතක් විතරයි . මම මේක ලියන වෙලෙත් උඹල දෙන්නම ඇඹරිලා වගේ දිගෑදිලා මං දිහා බලාගෙන ඉන්නවා මට පේනවා බව් අම්මා ලඟට වෙලා . උඹලා තුන්දෙනාගෙම ඇස් නැවතිලා මගෙ දිහාවට . කවදහරි ආත්මෙක උඹල මං ලඟ ඉන්න ඇති . මම කොහාට ගියත් මගෙ පස්සෙන් එන්න තරම් උඹලට බැඳීමක් කොයින්ද ඇත්තටම .

දන්නවද උඹලා වගේ නෙවේ බව්වියේ .... ගෑනු සෑහෙන්න හිත් රිදවගන්නවා . ඇයි දන්නවද . නෑනේ .... උඹලා කොහොමද ඒක දන්නේ . මේ අහන්න බව්වියේ ගෑනු වැඩි හරියක් විඳවන්නෙ බැඳීම් නිසා . ආදරය - සෙනෙහස කියන දේ අඩුවෙන් ලැබෙන කොට ගෑනු පුදුම විදියට තනිවෙන්න බලනවා . ඒ වගේම ගෑනු නපුරු වෙන්නේම - කේන්ති ගන්නේම - තමන් එක්ක කේන්ති ගන්නේම බැඳීම් එක්ක තියෙන හැඟීම් නිසා . බැඳීම් එක්ක ඔට්ටු වෙන ගෑනු ඒ බැඳීම් රැකගන්න පුළුවන් තරම් උත්සහ කරලා බැරිම තැනදි අතෑරලා දානවා . අන්න එතනදි ගෑනු තනිවෙන තරම උඹලට හිතාගන්නවත් බෑ බව්වි . අඬලා - වැලපිලා - ඉවසගෙන - දරාගෙන නැගිටපු ගෑනු හිත් ඕනතරමක් ඇති අපි දන්න නොදන්න . ඒත් සමහර හිත් රිදවීම් එක්ක ඔට්ටු වෙන ගෑනු හිත් විඳවන්නෙ දවස ගානෙම - හුස්මක් ගානෙම බව්වි . පපුව මැද්ද සීරෙන හැඟීමක ඇඳපු රූපයක් ඕනම ගෑනියෙක්ට තියෙනවා බව්වි . ඒ රූපය - ඒ හැඟීම තරම් දරාගන්න බැරි දෙයක් තවත් මේ ලෝකේ තියෙනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ බව්වියෝ . හිත නොසෑහෙන්න රිද්දගත්ත තත්පර වලත් දොර ඇරපු ගමන් ඉස්සරහට එන උඹලා තරම් සෙනේවන්ත හිත් කොහෙවත් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ . උයපු දේකින් හරි , නැත්නම් උයලා කන්න දීපු එක තමයි මේ උඹලා රකින්නේ තවමත් ගේ ඉස්සරහට වෙලා . මම කොහෙ ගියත් ආය එනකොටත් ඉස්සරහට එන උඹලට ආදරෙයි මම .

රිදෙන හිත යන්තමින් හිනස්සන උඹලගෙ දඟ වැඩ ගැන ලියන්න මට වචන නෑ බව්වියො . උඹලට කතා කරන්න පුළුවන් වුනානම් කියලා හිතුන තත්පර වල උඹලා දුක් වෙන්න ඇති . දුක් වෙන්න එපා බව්වියො . ලැබීම් - නොලැබීම් අතර ගෑනු ඉවසන තරම් මම ගොඩාක් හොඳින් තේරුම් අරන් ඉන්නේ . සතුටු වෙන්න උඹට උඹ හොයන නිදහස ඕන තරම් මේ සොබා දම් ලොකු අම්මා උඹට දීලා තියෙනවා . ඒ නිදහස උපරිම විඳින්න - විඳගන්න . තත්පරයක්වත් මඟ ඇරගන්න එපා . කවමදාවත් ආය වරදක් කරලා තිරිසන් ආත්මයක උපදින්න එපා බව්වියේ . මනුස්ස ආත්මයකට එන්නත් එපා . මනුස්ස ආත්ම වලදි ඉවසන්න - දරාගන්න අපිට ලැබෙන අත්දැකීම් හරි අමාරුයි බව්වි . ඔය උඹ අම්මා ලඟට වෙලා හුරතල් වෙන වෙලාවේ අම්මටත් කියන්න මම කිව්වා කියලා තේරුණාද බව්වි . දන්න අඳුරන යාලු බව්වියන්ටත් කියන්න හරිද . බව්වන්ට උනත් කමක් නෑ කියන්න . කවදාවත් සංසාරයක තනිවෙන්න එපා බව්වි . තිරිසන් ආත්මයක්වත් - මනුස්ස ආත්මයක්වත් ආය නොපතාම - නොලබාම යන්න වුන දවසක යන්න ආයම නොඑන්න .

ප : ලි - බව්වියන්ගෙන් මාල බව්වි විතරයි ඉන්නෙ වීඩීයෝ එකේ . අනික් බව්වි පූසියක් එක්ක සෙල්ලමක් .

•• ඊශා නිර්මාණි ••
( නිමු )

09/02/2023

ජීවීතේ සමහර තැන්
හරිම ලස්සනයි
තවත් සමහර තැන්
අවලස්සනයි
අපි පුරුදු වෙන්න ඕන
ලස්සන තැන් තව
ඔපමට්ටම් කරන්නත්
අවලස්සන තැන්
ලස්සන කරන්නත්
එතකොට අපිට පුළුවන්
ජීවිතය
එළිය කරගන්න
හැබැයි .........
එහෙම එළිය කරගන්න නම්
අපි ලඟ
ආත්ම විශ්වාසය
කැපවීම
අධිෂ්ඨානය
උනන්දුව
මේ හැමදේම
අඩු නැතුව තියෙන්න ඕන
වටපිටාවේ ඉන්න මිනිස්සු
ගල් ගහයි
කතා කියයි
කතා හදයි
වට්ටයි බිමටම
ඒ හැමදේටම
එකම එක උත්තරයයි
ඒ තමයි
කාටත් නිකං දෙන්න පුළුවන්
කිසිම මිලක් අය නොකරන
ඔය තමන්ගෙ මූණේ තියෙන
" හිනාව "
දන්නවද ...........
අන්න ඒ හිනාවට පුළුවන්
හිත රිදෙන තැන් පිහදාලා
ජීවීතේ දිනන්න
ඇහැරවන්න ........
ඉතිං එහෙනම්
ඒ " හිනාවට " වටිනාකමක් දෙන්න
ජීවිතය දිනන්න .....
තමන් දිහා බලන් ඉන්න අයට
නිහඬවම උත්තර දෙන්න ....
එතනයි නියම දිනුම ...

•• ඊශා නිර්මාණි ••
( නිමු )

02/02/2023

ගුඩ් මෝර්නින් ..... 💐💗

ජීවිතය කියන්නෙ බලාපොරොත්තු අහුරකට . අපි මේ ගන්න හුස්ම පොදක් ගානෙම අපේ හිත් වල තියෙන්නේම පුංචි පුංචි බලාපොරොත්තු . ඒ එක්කම දුක - සතුට මුහුවුන තැන් එක්ක අපිට හිමින් හිමින් ඉස්සරහට යන්න වෙනවා . ලැබීම් - නොලැබීම් , නින්දා - ගැරහුම් මේ සියල්ලක්ම නිහඬවම විඳගන්න පුළුවන් විදියට තමන්ගෙ හිත ශක්තිමත් කරගන්න . හිත රිද්දන කාට වුනත් ලස්සන හිනාවකින් ප්‍රති උත්තර දෙන්න . කාලයට ඉඩ දෙන්න . තමන්ගෙ හිතේ විශ්වාසය කියන ශක්තිමත් හැඟීමට ඔයාගෙ අරමුණු එකතු කරගන්න . ඒ අරමුණු එක්ක දවස පටන් ගන්න . ගහ කොළ එක්ක මේ වටපිටාවේ තියෙන සොබාදහමට අයිති හැම වස්තුවක් එක්කම පොඩි වෙලාවක් අරන් කතා කරන්න . කලබලෙන් චූටි චූටි කෑම අරන් දුවන කූඹීයෙක් එක්ක , නැත්නම් නිදිකුම්බා මලක් එක්ක , එහෙමත් නැත්නම් මොනාහරි මලක් එක්ක , කුරුල්ලෙක් එක්ක හරි කමක් නෑ කතා කරන්න කෙනෙක් නැත්නම් කතා කරන්න , ගුඩ් මෝර්නින් කියලා විස්තර කතා කරන්න . කතා කරලා දවස පටන් ගන්න . හිත නිවෙයි . දවස ලස්සනට පටන් ගන්න පුළුවන් එතකොට . දැං අලුත් මාසයක් . හිතේ තියෙන බලාපොරොත්තු - අරමුණු වලට තව ටිකක් හයිය අරන් ඉස්සරහට යන්න . දුක හිතෙන - හිත රිදෙන හැම තත්පරේකම හිතට සතුටක් දැනෙන දේකට හිත අරන් යන්න . හිත සතුටින් නම් මනස නිදහස් . එතකොට පුළුවන් හිතේ තියෙන බලාපොරොත්තු වලට - අරමුණු වලට අලුත් පණක් දෙන්න .

ඉතිං සතුටින් ඉන්න හැම තත්පරේකම ....
තෙරුවන් සරණයි 💐

•• ඊශා නිර්මාණි ••
( නිමු )

25/12/2022

Good Morning ❤❤

මිනිස්සු අපිට චරිත සහතික ලියනවා . එයාලගේ දැනීමේ හැටියට , එයාලාගේ අවබෝධයේ හැටියට චරිත සහතික ලියනවා . මම හිතන්නේ මිනිස්සුන්ගේ චරිත සහතික අපිට අදාල නෑ . අපි ජීවත් වෙන්න ඕනී අපි වටේ ඉදන් චරිත සහතික ලියන , අපිට කිසිම අදාලත්වයක් නැති ම්නිස්සු සැටිස්ෆයි කරන්න නෙවෙයි . අපි ජීවත් වෙන්න ඕනී අපේ හිතට අපිට සැටිස්ෆයි වෙන විදියට . ඔව් ඔයා ජීවත් වෙන්න ඕනී ඔයාට ඕනී විදියට . මම ජීවත් වෙන්න ඕනී මට ඕනී විදියට . හරි වැරදී , හොද නරක කියන්නේ හැමවිටම සාපේක්ෂ දෙයක් . මිනිසුන් විසින් යම් යම් ආකාරවලින් හදාගත්ත ප්‍රමිතීන් ඒවා . සම්ප්‍රදායිකව හිතන කෙනෙකුට කෙල්ලෙක් කොටට ඇන්දාම ඒකී බඩුවක් වෙනවා . හැබැයි ඒ සම්පදායෙන් ඔබ්බට ජීවිතේ දැකලා , ජීවිතේ විදින කෙනෙක්ට ඒක ෆැෂන් එකක් . ප්‍රශ්නය තියෙන්නේ ඔතනත් නෙවෙයි ඔය අපේ ගවුම කොට වුනාම අපිට අමුතු ලේබල් අලවන ගොබ්බ හැත්ත වුන්ට අනුව අර උන්ටම දීගෙන ඉන්න උන් ජංගියයි බ්‍රෙසියර් එකයි පිටින් පාරේ ගියත් ඒක වාව් එකක් . ඒ නිසා අපි එහෙම මිනිස්සුන්ට අපිව ඔප්පු කරන්න අවශ්‍යම නෑ මම හිතන විදියට . කොහොමත් මෙහෙමනේ අපි වටේ ඉන්න එවුන්ගෙන් කවුරු හරි දම්මලා අපි ගැන ඇහුව්වොත් සමහරුන්ට අපි හොදයි . සමහරුන්ට අපි නරකයි . සමහරුන්ට අපිව පෙන්න බෑ . අපි එක්ක මොනාහරි පොඩි හරි ඇරියස් එකක් තියෙන එකෙක්ගෙන් අපි ගැන ඇහුව්වොත් , බුදු අම්මෝ අපි තනිකරම බරපතල ගනයේ අපරාධකරුවෝ . තමන්ගේ ලගම එක්කෙනෙකුට දෙන්නෙක්ට අපිව වටිනකොට ගොඩක් අයට අපි බලු ගානයි . ඒ තමා හැටි . ඉතිං අපි ඒ අය අපිට දෙන චරිත සහතිකේ ගැන දුක් වෙන්න ඕනී නෑ .....

හොදම කතාව මොකද්ද දන්නවාද ... ?

ඔය අපිට චරිත සහතික ලියන පත්තිනිලා - සිදුහත්ලා ගැන උන්ව දන්න එවුන්ගේ ටිකක් අහලා බලන්න ඕනී කැරැට්ටුව . අම්මෝ .... පව් ඉතිං .... ඒ නිසා ඔබ , ඔබ කවුද කියන එක පැහැදිලි කල යුතු නෑ නුගත් මිනිසුන්ට . සමහරු හිතන් ඉන්නවා එයාලාගේ කොලිෆිකේෂන් මහා ඉහලයි කියලා . පව්... ජීවිතේ ගැන හය හතරවත් නොදන්න මහාචාර්යවරුත් ඉන්නවනේ අප්පා . ඉතිං ඔය අපි වටේ ඉන්න නිකම්ම නිකං මොංගල් කැලී ගැන කවර කතාද ....?

ඉතිං එහෙනම් මතකනේ ජීවත් වෙන්න ඔයාට ඕනී විදියට . වටේ ඉන්න අයට පැහැදිලි කරන්න යන්න එපා ඔබ ගැන . එක කරන්න කොහෙත්ම බෑ . තේරුමක් නෑ .

ඔබට ජය 💐

•• ඊශා නිර්මාණි ••
( නිමු )

16/07/2022

ජීවීතේ මේ ගෙවෙන දවස්
පුදුම හිතෙන තරම්
විශ්වාස කළ නොහැකි තරම්
කාළකන්නිම දවස් ......
ඒත් ,
ඒ කාළකන්නිකම අස්සෙන්
මන්දාරම එක්ක එක්ක එන
හීන් පොද වැස්ස
අරන් ආවෙම
මහා ලොකු ආශිර්වාදයක්
නොහිතපු තත්පර වල
මට හමුවුනේම
නොහිතපු - විශ්වාස නොකරපු දේවල් .....
ඒ හැමදේම
විශ්වාස නොකරන මිනිස්සු අතර
වාසියට කහින මිනිස්සු අතර
හිතළුවක් වුන නුඹ
මට වසන්තයක් වගේමයි
මේ කඨෝර ඉඩෝරයේ
වසත් වර්ෂාව නුඹ
ඉතිං වැහැපන්
මුරුගසන් වරුසාවක්ම වී
හිතක් නොතේරෙන
අමානුෂික කුහක් හිත්
තෙත බරිත කරමින්ම .......
ඒ වැස්සේ මාව තෙමපන්
අනවශ්‍ය බැඳීම් දියවී යනතෙක්ම ......

අහිමිවීම්
අත් හැරීම්
සියල්ලක්ම මැද
ජීවිතය දිනන්නට
ඒ වැහි අතරින්ම
දියන් මට එකම එක වරමක්
ඒ ඇති ඉතිං මට සදහටම
පිළිතුරක් ලෙසින් රිදවූවන්ට පුදන්නට ...

•• ඊශා නිර්මාණි ••
( නිමු )

10/07/2022

මගේ අහංකාරකමට
නුඹේ මාන්නක්කාරකම
මගේ හිතුවක්කාරකමට
නුඹේ මුරණ්ඩුකම
ඒ ඔක්කෝම එක්ක
හැංගිලා තිවුන
එදා ඉඳන්ම
නුඹ විඳගත්ත
මගෙ නපුරුකම
එක්ක තිබුන
අහිංසකකම
නුඹේ දඩබ්බරකම එක්ක
හරි අපූරුවට ගැලපුන අපූරුව
දන්නවද ...
ආදරේ තිබුණෙම
නුඹේ ඔය දඩබ්බරකම අස්සෙ
පපු කුහර අස්සෙන්
ලේ නහර අස්සෙන්
නුඹව මට දැනෙනකොට
ඇත්තටම
මට හිතෙනවා
ආදරය නුඹ ළඟ තියලා
නුඹෙන් හුස්මක් ණයට අරගෙන
ජීවිතය අත් අරින්න ...
එනවමයි දවසක මං
හුස්මක ණය බේරන්න ...
ඉන්න එතකල්
මං එනවා ...........

දන්නවද
එච්චරම ආදරෙයි මම 💗

•• ඊශා නිර්මාණි ••

06/07/2022

වැස්ස කියන්නේම
ආදරයට
ඉතිං ......
නුඹ කියන්නේම
ඒ වැස්සේ
මට තෙමෙන්නට තියෙන
එකම එක සංසාරික හේතුවට ......
වැහි බිඳු බේරෙන
මගේ කෙහෙරැලි අස්සෙන්
නුඹේ රුව
මගේ ඇස් ඉස්සරහ
සිත්තම් වුනාම
වෑහෙන්නේම ප්‍රේමය .....
ඉතිං රන් ,
ප්‍රේමය කියන්නේම නුඹට .....
නුඹ කියන්නේම
සංසාරික හුස්ම පොදට ...

•• ඊශා නිර්මාණි ••
( නිමු )

26/06/2022

හැන්දෑවට නුවර අහස
මන්දාරම එක්ක
හරිම ලස්සනයි
හීන් හීතල එක්ක
නුඹේ උණුහුම් හුස්මක්
නළලතේ තැවරුනම
වැව රවුම අයින දිගේම
ඇවිදගෙන එනගමන්
මාළු රංචු එක්ක කතා කරන
මං දිහා
නුඹ බලා හිඳීවී
හුඟාක් ආදරෙන්
වැව අයිනෙ ඉන්න පාත්ත රංචු එක්ක
මට දුවන්න ඉඩ ඇරලා
නුඹ බලා හිඳීවී
හුඟාක් ආදරෙන්
ඒ සේරම එක්ක අවසානෙදි
නුඹෙ තුරුලට එන මාව
අසීමාන්තික ආදරයකින්
නුඹ වැළඳගනීවී ..........
ඒ අසළම වැව රවුමෙ බංකුවක වාඩිවෙලා
ඈතින් පේන දළදාවෙ
පිංවන්ත සුවඳ එක්ක
නුඹ දොඬමළු වේවී
මගෙ දුඹුරු ඇස් එක්ක
එකඳු හිස්තැනක්වත්
නැවතීමක්වත් නැතිවම
නුඹ දොඬමළු වේවී ....
අවසන
අතින් අල්ලාගෙන
හිතින් දරාගෙන
මනසින් බැඳි ආ
සංසාර බැඳීමක
ස්නේහයේ උණුසුම්ම හාදුව
නුඹ තියාවි නළල මැදින්ම
හරියටම හිස්මුදුනින්ම .....
ප්‍රේමයේ අසීමාන්තික හැඟීමක
නැවතුම නුඹම වූ කල
සංසාරයෙන් සංසාරයට
පතා එන
එකම බැඳිමද නුඹම පමණි .....

දන්නවද
ආදරේ කොච්චරක්ද කියලා ......
මෙච්චරයි කියලා කියන්න
දන්නෙ නෑ මම ඇත්තටම
ආදරෙයි 💗
එච්චරයි 😍

•• ඊශා නිර්මාණි ••
( නිමු )

24/06/2022

ජීවිතේ හැමෝටම
ආමාරුම කාලයක් තමා ....
එත් ... අත් හරින්න එපා
ඉවසගෙන , දරාගෙන
ඔයාගේ ටාගට් වලට යමු ....
හිත ශක්තිමත් කරගන්න .....
එක දෙයක් මතක තියාගන්න
අවසන් අන්තිම අවස්ථාව දක්වාම
ඔබේ අරමුණ අත්හරින්න එපා ....
මොකද දන්නවද
ලෝකයේ දිනපු මිනිස්සු
බොහෝ දෙනෙක් දිනලා තියෙන්නේ
ජීවිතේ අන්තෙටම පැරදිලා
ඒත් ......
අල්ලන් හිටිය අන්තිම අවස්ථාවෙදි ....
ඉතිං ...
ඔයාටත් පුලුවන් .....
ඒත්
වටපිටාවේ මිනිස්සුන්ට
ඔයා හොඳ මාතෘකාවක් වේවී
නොඇසූ කතා ගොඩක්
අහගන්නත් වේවී
ඒ කිසිම කෙනෙක්ට
ප්‍රතිඋත්තර - ප්‍රතිචාර
දැක්වීමෙන් වළකින්න
මන්දයත් ........
ඒ සියල්ලන්ගේම සියලු දෑ
අනාගත කාල වකවානුවකදී
විසඳීමට ඉඩ තිබෙන නිසාවෙන් .....
ඉතිං ......
අපි ඇවිදගෙන යමු
සුන්දරම තත්පර තියෙන ඉසව්වට
හෙමින් - සතුටින්

සුභ උදෑසනක් සහ
වාසනාවන්ත දවසක් වේවා ....☺️

•• ඊශා නිර්මාණි ••
( නිමු )

13/06/2022

ඉවසීමෙන්
බලගෙන ඉන්න
සමහර දවස්
මොනතරම් අමාරු වුනත්
ජීවිතේ යන්නෙ හරි පාරේ කියලා
හිතට දැනෙනකොට
ඒ ඉවසීම හරිම සුන්දරයි
හිනා වෙලා
කතා කරලා
පණ දෙන්න වාගේ ඉඳගෙන
හිමිට පපුවට අනින්න බලාගෙන ඉන්න තමන්ගෙම කියන මිනිස්සු අතර
කිසිම දෙයක් බලාපොරොත්තු නොවි
උඹට හරියන්නම ඕනී කියලා
උන්ට පුලුවන් විදියට
උදව්වක් කරන
සමාජයට පිට එවුන් වුන
මගේම එවුන් ටිකක් ඉන්නවා මටත් ...

ඉඩෝරයට හුරු වෙන්නම වෙනවා
ඉඩෝරයත් එක්ක
ජීවිතේ ලබන අත්දැකිම්
වසන්ත කාලයට සුන්දරම මතකයන් ...

•• ඊශා නිර්මාණි ••

06/06/2022

දන්නවද මැණික ...

බොර පාට වුන ඉඟිකරන
ඇස් දාහක් අතර
මම නිවුනේම
නුඹේ ඔය දුඹුරු ඇස් වල දිස්නෙට
අහක බලන්න නොහිතෙන තරමටම
දිළිසෙන දුඹුරු ඇස්
මායාකාරියකගෙ වගේ .......
ඇත්තටම නුඹ
මායාකාරියක්
මගෙ පුංචි මායාකාරි ......
ළඟ ඉන්න තත්පර වල
තනියම හිනාවෙවී
සැරින් සැරේට මොනාම හරි කියෝන
නුඹ ,
මට භාවනාවක් වගේ ....
එහෙ මෙහෙ දුවන ඇස්
නොනවත්වාම සෙලවෙන
රෝස පාට දෙතොල්
මායාකාරියක් නොවුනා නම් තමයි
පුදුම නුඹ ....

ඉතිං මැණික ...,
මට තියෙන්නෙ පුංචිවට හදපු
ලස්සන හුරුබුහුටි ගෙයක්
විදුලි පහන් එළි ඔක්කෝම නිවලා
නුඹේ දිළිසෙන මායාකාර ඇස් වල එළිය එක්කම
නුඹව ඒ ගෙයි මැද තිව්වාම
අර " ලන්තෑරුමක " තියෙන
පුංචි ලා කහපාට එළිය වගේ
නුඹ හරිම සුන්දරව හිඳීවි
මගෙ පුංචි ගේ පොඩ්ඩ
එළිය වේවී .........
දන්නවද ......
මට ඒ දිළිසෙන ලා එළිය ඇති මැණික
සදහටම .........

•• ඊශා නිර්මාණි ••

04/06/2022

අකලට පිපුණ නුඹ
අවාරයේ පැලපදියම්ව
මගෙ පපු මැදම
වසන්තය රැගෙන ආ
අරුමය
කියාගත නොහී
තත්පර
ගෙවමින් හිනැහෙන
මම
තවත් කෙසේ ඉවසම්ද ... ?
නුඹ නැතිව
නුඹ එක්ක
ගෙවෙන මේ තත්පර ...

•• ඊශා නිර්මාණි ••

26/05/2022

මට ඕන තනිවෙන්න
එකම එක මොහොතකට
නුඹ නැතිව නුඹ එක්ක
අපෙ මතක අහුලන්න

සීත මීදූම් අතර
සමනළිය වී ඉන්න
චූට්ටක් ඉඩ දෙන්න
පියාපත් විහිදන්න

දසත පියඹා ගොසින්
නිල් අහස පුරාවට
සිත්තමක දවටනෙමි
නුඹේ රුව සීරුවට

දැං ඉතිං ඇහැරෙන්න
ඇති තනිව විඳි සුසුම
හොරෙන් හෙමිහින් ඇවිත්
මුදු සිනාවක් දෙන්න

සිත සිඹින මදනලක
උණුහුමම නුඹ වෙන්න
අතින් අත පටලමින්
නළල්තල සිපගන්න

ආදරේ මේ තරම්
මේන් මෙතකැයි නොකියු
හිත මටම ලියාදී
සුවඳ හුස්මක් දෙන්න

තවරගෙන හිත පුරා
නුඹ දුන්නු ඒ හුස්ම
පපු මැදම සරසගමි
පේවෙමින් මුළු සසර ...

•• ඊශා නිර්මාණි ••

16/05/2022

දන්නවද ......

සමහර වෙලාවට නුඹ
ආදරණිය පිරිමියෙක්
තවත් වෙලාවකට නුඹ
ලෙංගතුම හිතක් උරුම
සෙනේබර සහෝදරයෙක්
නොහිතන වෙලාවක නුඹ
දඩබ්බර ප්‍රේමයක අයිතිකාරයෙක්
ඒ ඔක්කොම එක්ක නුඹ
හිතුවක්කාරකම
මුරණ්ඩුකම
නපුරුකම
උප්පත්තියේ ඉඳන් අරන් ආව
බලවත් පිරිමි ආත්මයක් ........
එහෙව් පිරිමියෙක් ළඟ
ගෑණියෙක්ට
සංසාරයේ එකම අවස්ථාවක් හරි
ජීවත් වෙන්න පුළුවන් කියන්නේම
සමහරවිට අසීමාන්තික පිනක
එකම එක උරුමක්කාරිය
ඇය විතරක්ම වෙන්න පුළුවන් .......
හැබැයි ඔයා දන්නවද
සමහර හැසිරීම් රටා එක්ක
ඒ ගෑණිට වුනත් හිතෙන්න පුළුවන්
එහෙව් බලවත් පිරිමි ආත්මයක
එකම එක පිනැති උරුමක්කාරි ඇය වුනාට
ඒ පිරිමි ආත්මයේ නපුරු මුරණ්ඩු ගති එක්ක
ගැටෙන්න අපහසු වෙන තත්පර වලදී
ගෙවා නිම කල ආදරණීය තත්පර විතරක්ම
පපු මැද්දේ ඉතුරු කරගෙන
හිතින් අත් ඇරලා සුන්දරව හිනාවෙන්න .....
දවසින් දවස
තත්පරෙන් තත්පරේ
ගෙවෙන්නෙම නුඹේ රුදුරුකම් එක්ක වුනාම
අත් හැර දමලා හිනාවෙලා
ජීවත් විය යුතු නිසා පමණක් හුස්ම ගන්න
ඇවිදින මළමිනියක් ගානට
ජීවත් වෙන්න ඇයට හැකි බව පමණක්
හිතට ගන්න .............
මන්ද යත් .......

ප්‍රේමය , ආදරය
මිහිදන්ව යන කල්හි
ගැහැණිය සියල්ල අත් හැර දමා
නිහඬවම හුස්ම අල්ලන නිසාවෙන් ......

•• ඊශා නිර්මාණි ••

01/05/2022

සමහර මිනිස්සුන්ට
අපිව තේරුම් ගන්න බැරි
එයාලට අපිව නොතේරෙනවා නිසාම නොවේ
එයාලාට අපිව හොදට තේරෙනවා
හැබැයි එහෙම තේරිලාත්
ඒ මිනිස්සුම
නොතේරුනා වාගේ ඉන්නේ
එයලාට අවාසියක් වෙයි කියන බයට
තමන්ගේ කියන හයියකින්
පොලොවේ පයගහලා ජීවත් වෙන්න බැරිව
කාගේ හරි පිහිටෙන්
ඔහේ වහල්කම් කරමින්
ජීවත් වෙන මිනිසුන්ට
කවදාවත් වහල් බවින් තොර නිදහසක් නෑ .....

සරලවම කිව්වොත් ගමක ඉන්න
තරමක සමාජ විරෝධීව
වැඩකරන කෙනෙක්
ඒ ගමේම
ඉතාම සීමිත පිරිසකට
බුදු කෙනෙක් - දෙවියෙක් වන්නට පුළුවන
මන්ද
ඒ පිරිස වහල්කමින් අන්ධව
ජීවත් වෙන නිසාවෙන් ......

හැබැයි වහල්කමින් මිදිලා
පොලොවේ පයගහලා ජීවත්වෙන එක
මොනතරම් අමාරු වුනත්
එය කරන්න පුලුවන්නම්
වහල්කම් කරලා
ජීවත් වෙන ජීවිතේට වඩා
පුදුම සතුටක් නිදහසක් , සැනසීමක් ලැබෙනු ඇත .....

වහල්කමින් අන්ධව තව කෙනෙකුගෙන්
තුන් වේලම ෆ්‍රයිඩ් රයිස් කනවාට වඩා
පොලොවේ පයගහලා
තමන්ට පුලුවන් ආකාරයෙන්
සම්බොලයි බතුයි කාලා ජීවත් වෙන එක
මාරම නම්බුකාරයි .......

ඒක මාර සැනසීමක් ......
ඒක මාර ගැම්මක් ......
ඒක මාර සතුටක් .....
ඒක මාරම නිදහසක් ......

•• ඊශා නිර්මාණි ••

28/04/2022

රෝස තොල් පෙති නුඹේ දෙතොලින්
තෙමා හෙමිහිට වැසි මැදින්
දරා මඟ බැලු ප්‍රේමයේ සුව
සනසවා තුරුළට වෙමින්

තැලී පොඩිවුනු මගේ හිත් ගැබ
පරිස්සම් කරමින් හිමින්
පරව ගිය රෙබරෝසියා මල්
පිපෙනවා " රන් " නුඹ නමින්

මගෙ දුඹුරු ඇස් වලට කිමිදෙන
නුඹේ නිල් ඇස් දිදුලමින්
කියයි රහසක් නොකියනා මුව
මඬල මත සිනහව දරන්

අසීමිත ප්‍රේමයම නුඹමයි
දොවාලූ අනුරාවකින්
මහ පිරිත නුඹ මගේ දිවියේ
ඇසේ තුන් යම සවනඟින්

දැනෙන නොදැනෙන හැඟුම් අතරට
නළල මත තිවු සිපුමකින්
පපුව මැද නුඹ තවත් නිව්වා
මැණික නුඹ මගෙ කිවු සරින් ...

•• ඊශා නිර්මාණි ••