Moments by Tharindu

Moments by Tharindu

I hope my stories would help all of you to understand about your own souls!

02/01/2024

Diary of an Elder Soul!

සවස් යාමය එළැඹෙත්ම කෙමෙන් කෙමෙන් අඳුර ගලා ඒම ආරම්භ වූයේ යම්කිසි බලවේගයක් මඟින් සියලු ආලෝකය ගිලගන්නාක් මෙනි.

අන්ධකාරයත් සමඟම ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන, දරාගැනීමට අපහසු පිහි තුඩු වන් සීතල, නිවස තුළට වී සිටි මා වෙලාගැනීමට තැත් කරන බව දැනුන හෙයින්, තවත් පමා වීමට පෙර සීතල රිංගා ගත නොහැකි වන ලෙස කබායක් පොරවාගත් මා තේ කෝප්පයක් පිළියෙල කරගැනීම සඳහා මුළුතැන්ගෙය දෙසට සෙමෙන් පියමැන්නේ සීතල නැසීම සඳහා එය මා එකල සිට දන්නා ඉතා කදිම අවියක් සහ යම් ආකාරයක ඖෂධයක් වන බව හොදකාරවම දන්නා බැවිනි.

මුළුතැන්ගෙය දෙසට පිවිසීමට සැරසෙත්ම නිවසේ විදුලිය විසන්ධි වූයේ පිටත පරිසරයේ පැවති අන්ධකාරය තව තවත් දිරි ගන්වමිනි.

මේසය මත තිබූ ලාම්පුව වෙත මාගේ මතකය දිව ගිය හෙයින් මා ඒ දෙසට සෙමින් පියමැන්නේ ඉතා ප්‍රවේශමෙනි.

මේසය අසලට ගොස් ලාම්පුව අතට ගැනීම පිණිස මේසය දෙසට සුරත යොමු කළ විට මාගේ අතට දැනුනේ කුඩා කම්පනයක් සමඟම සුපුරුදු පහසකි. රෝම වලින් පිරිපුන් වූ මාගේ සගයා: රූසෝ. මෙපමණ වේලාවක් ගෙතුළ නොසිටි නමුත් අඳුරත් සමඟ දැනෙන මූසල හැඟීම ඔහු හටද දැනුන නිසාවෙන් නැවත ගෙතුළට පැමිණීමට ඔහු තීරණය කරන්නට ඇතැයි මම නිගමනය කළෙමි. සවස් කාලයේ නිවසෙන් පිටත සිටින කුඩා මීයන් අල්ලාගැනීම මොහුගේ ප්‍රියතම විනෝදාංශය බව කලක සිටම මා දැන සිටියෙමි.

ඒක අතකින් ලාම්පුව ගත් මා, අනෙක් අතින් රූසෝ වඩාගත්තේ තේ සෑදීමේ කාර්යයට ඔහුවද සම්බන්ධ කර ගැනීමට සිතාගෙනය. ඔහු මා හට කෙතරම් පුරුදු වී සිටී ද යන්න මා හට වැටහුනේ, ඔහුව වඩාගන්න සෑම විටකම කුඩා ළදරුවෙකු මෙන් මාගේ ගෙල වටා දෑත් දමා මාව අල්ලාගෙන සිටීමට ඔහුට තිබූ හැකියාව නිසාවෙනි. ඔහුව වඩාගෙන යාම එතරම් ලෙහෙසි නොවූයේ ආහාර ගැනීමේ කදිම හපනෙකු බවට ඔහු පත්ව තිබූ බැවිනි.

නැවත මුළුතැන්ගෙය දෙසට පියමැන්න මා ලාම්පුව මේසය මත තැබූ නමුත් එය සම්පූර්ණ මුළුතැන්ගෙය ම එළිය කිරීමට සමත් වූයේ නැත. රූසෝ ව ඔහුගේ සුපුරුදු අසුන මතින් තැබූ නමුත් ක්ෂණිකව ඔහු එතනින් බිමට බැස මා පසුපස පැමිණෙන බව මා දැන සිටියෙමි.

කේතලය අතට ගත් මා එයට වතුර පුරවා ගෑස් ලිප මතින් තැබූයේ ඉක්මනින් ජලය උතුරණු ඇතැයි යන සිතිවිල්ල සිතෙහි තබා ගනිමිනි. දැනුනු සීතල හේතුවෙන් මා මදක් ලිප අසලට වී සිටීමට තීරණය කළෙමි. මද වේලාවකින් රූසෝ ද මා හා එක් වුණි.

කල්පනාවෙහි නිමග්නව සිටි මා නැවත පියවි සිහියට පැමිණියේ ජලය උතුරනවා කියා මා හට පවසනවා මෙන් කේතලය විසින් ඇති කරන ලද ඉමහත් ශබ්දය නිසාවෙනි. කුඩා කල සිටම නිවසේ තේ සෑදීමේ රාජකාරිය මා හට භාර වී තිබූ නිසා මා ප්‍රිය කරන ආකාරයට රසවත් තේ කෝප්පයක් පිළියෙල කරගැනීම සඳහා මා වෙත ගත වූයේ සුළු මොහොතකි.

තේ කෝප්පයක් පිළියෙල කරගත් මා එය මේසය මත තබා බිස්කට් භාජනය අතට ගත් වහාම ඇසුනේ රූසෝගේ සුපුරුදු ඥාව් හඬයි. පිරිසියකට බිස්කට් කිහිපයක් දමාගත් මා, තවත් බිස්කට් 3ක් පමණ ගෙන කුඩා කැබලි වලට කඩා මාගේ මිත්‍රයාගේ කෑම භාජනය තුළට දමන විට ඔහුගේ හඬ ක්ෂණිකව අඩු වූයේ කෑගැසීමට වඩා බිස්කට් රස විඳීම හොඳ යැයි ඔහු දන්නා නිසාවෙනි.

ඔහු බිස්කට් ආහාරයට ගන්නා අතර තේ කෝප්පය සහ බිස්කට් දැමූ පිරිසිය ද අත රැගෙන ගෙයි සාලය කරා මා පියමැන්නේ, උණුහුම අවශ්‍ය පුද්ගලයෙකු ගිනිමැලයක් අසල සිට සීතල අඩුකරගැනීමට තැත් කරන්නාක් මෙන් තේ කෝප්පයෙන් පිටවන හුමාලය ද ආඝ්‍රාණය කරමිනි.

සාලයෙහි අයිනකට වන්න පැවති මාගේ ලියන මේසය නෙත ගැටුණු මා එදෙස බලා පියමැන්නේ නිතැතිනි. තේ කෝප්පයෙන් උගුරක් රස බලා, කෝප්පය ලියන මේසයේ පසෙකින් තැබූ මා, බිස්කට් එකක් ගෙන එය රස විදීම ආරම්භ කරමින් මේසය අසල තිබූ පුටුවෙහි ඉඳගත්තේ කුමක් කරන්නේදැයි සිතමින් නොවේ.

එම මේසය මාත් සමග කොපමණ කාලයක් තිබුණාදැයි මා හට එපමණ මතක නැත. නමුත් එය මා හට බොහෝ උපකාරයන් කළ අයුරු මට හොඳට මතකය. මා පොත් කියවීම සඳහා භාවිතා කළේ මෙම මේසයයි. මාගේ සටහන් ලිවීම සඳහා ද මා මෙම මේසය ඉමහත් ලෙසින් යොදාගෙන තිබුණි. නමුත් මෙම අවස්ථාවේ මේසය මත තිබූ දේවල් වලින් මා හට වටිනාකමක් තිබූ එකම දෙය නම් මාගේ දින පොත ය. මාගේ ජීවිතයේ සිදුවූ සතුටුදායක මතකයන්, දුක්ඛදායක මතකයන්, ආදරණීය මතකයන් සෑම දෙයක්ම, මා හැර අන් අයෙක් දැන සිටී නම් ඒ මාගේ දින පොතය. සමහර අවස්ථා වලදී මාගේ තාඩන පීඩන වලට ලක් වූයේද මෙම දිනපොතය. එම හේතුවෙන් එහි පැරණි බව සහ භාවිතා කර ඇති කාලය පිිබඳව මනාව වටහාගත හැක.

බොහෝ කලකින් එහි අලුත් යමක් ලියා තිබුණේ නැති බව දකින ඕනෑම කෙනෙකු හට වැටහී යන්නේ එය මත තිබූ දුහුවිලි ප්‍රමාණය නිසාය. සෙමෙන් එය අතට ගත් මා දුහුවිලි පිසදමා එය විවර කළෙමි. එවිට එම දුහුවිලි අංශු පාවී ගොස් ලාම්පු එළියේ විවිධාකාරයේ රටා මැව්වේ මා හට වෙනස් ආකාරයක කතාවක් කීමට සැරසෙන්නාක් මෙනි.

එක් වරම මාගේ මිත්‍රයා කෑගසමින් මේසය මතට පැන්නේ ඔහුට දී තිබූ බිස්කට් සියල්ල ආහාරයට ගෙන අවසන් යැයි මා හට පැවසීමට තැත් කරන්නාක් මෙනි. ඔහුගේ හිස අතගෑම ආරම්භ කළ මා හට ඔහු විසින් ඉතා මිහිරි පුරු පුරු ශබ්දයකින් ස්තූතිය පුද කළේය. එම පුරු පුරු ශබ්ධය විසින් යම්තාක් දුරකට නිහඬතාවය බිඳ දැමීමට සමත් විය.

රූසෝ හට යොමු කර තිබූ අවධානය නැවත මාගේ දිනපොත වෙත යොමු කළේ ඔහුගේ හිස අතගෑම නොනවත්වමිණි.

ඔබ පෙර කිසියම් දිනකදී හෝ පැරණි පොතක් විවෘත කර තිබෙනවාද? තිබෙනවා නම් එම පොත් තුළින් නැගෙන ඒම අමුතු සුවඳ ඔබ හට අමුත්තක් නොවනු ඇත. මෙය තුලින්ද එම අමුතු ආකාරයේ සුවඳ නික්මුනේ බොහෝ කාලයක් මා මෙය භාවිතා කර නැත යන වග තවදුරටත් සනාථ කරන්නට මෙනි. ලාම්පුව මගින් සපයනු ලැබූ ආලෝකය යොදා ගනිමින් මා මගේ දිනපොත සෙමෙන් කියවීම ආරම්භ කළෙමි.

පළමු පිටුවේ තිබුයේ මාගේ නම ය. මාගේ නම එහි ලිවූ දවස මා හට මතකයට නැගුණේ දිනපොත විසින් නැවත මා හට එම පැරණි මතකයන් මතක් කර දීමට තැත් කරන්නාක් වැනි ආකාරයටය.

පළමු පිටුව පෙරළා තිබෙද්දීම තේ කෝප්පය අතට ගත් මා, මදක් සීතල වී තිබූ තේ උගුරු 2 3ක්ම වාගේ පානය කර බිස්කට් කැබැල්ලක්ද ආහාරයට ගත්තේ පළමු පිටුවේ ඇති මාගේ නම සිතින් කියවිමිනි. එය මාගේ නම වුවද, එලෙස කියවන විට ප්‍රසිද්ධ කතුවරයෙකු විසින් රචිත පොතක් කියවීම ආරම්භ කළාක් මෙන් හැඟුණි.

තේ කෝප්පය නැවත ස්ථානගත කළ පසු පළමු පිටුවේ සිට දෙවෙනි පිටුව දක්වා දිනපොත පෙරළා සෙමෙන් කියවීම ආරම්භ කළේ එම වෙලාවේ කළයුතු වෙනත් දෙයක් බිලිබඳව කිසිදු අදහසක් මා සිතට නොපැමිණි හේතුවෙනි.

ඒ වන විට මාගේ මිත්‍රයා මේසය මත ගුලි වීම ආරම්භ කළේ නිදාගැනීමට සැරසෙමිනි. එය මා හට මද සිනහවක් ලබා දීමට සමත් වූයේ මෙතරම් කල් ගත වුවද මාගේ මිත්‍රයා ගේ හැසිරීම නම් වෙනස් වෙලා නැති බව මා හට තේරුම් ගිය හෙයිනි. නැවත දිනපොත දෙසට අවධානය යොමු කළ මා, එහි පිටු අතර රැඳී තිබූ මතකය ආවර්ජනය කිරීම ආරම්භ කළෙමි.

මාගේ පෙරපාසල් අවදිය, මාගේ පළමු පාසල, මාගේ දෙවන පාසල, මාගේ මිතුරන්, පාසල් අවසානය, පාසලෙන් පසු මාගේ ජීවිතයට ඇතුළු වූ පිරිස්, මා හට සිදුවූ අකරතැබ්බයන්, මා හට සිදුවූ ත්‍රාසජනක අත්දැකීම්, මේ සියලුම සිදුවීම් සමඟ මා සමඟ සිටි මාගේ පවුලේ පිරිස්, මා කුඩා කල සිට මා සමඟ සිටි විවිධ සුරතල් සතුන්...... දිනපොතේ පිටු පෙරලීමත් සමඟම මේ සියලු දේම නැවත මතකයට පැමිණීමට ගත වූයේ සුළු මොහොතකි. ලාම්පු එළියෙන් අවට ආලෝකමත් කරන ලෙසින් අඳුරු වී තිබූ මාගේ මතකයද එළිය කරනවාක් යනුවෙන් මට හැඟිණි. නොදැනුවත්වම මුවඟට සිනහවක් පැමිණීමත් සමඟම දෑස් අගින් කඳුළු බිඳුවක් පිටතට පැමිණීම, එම අවස්ථාවේ මාගේ හැගීම් මෙන්ම මාගේ ජීවිතය තුලදී මා ගෙවූ විවිධ අවදීන් ද ප්‍රදර්ශනය කරන්නාක් මෙන් විය.

මෙලෙස දිනපොතෙහි පිටු අතර තනි වූ මා දිනපොතෙහි අවසානයට ලන් වූ බව දැනිණි. එම හිස් පිටු දෙස බලමින් කල්පනා කළෙමි. නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට මා තවමත් ප්‍රමාද නැත. නමුත් කුමක් ලියන්නදැයි සිතාගත නොහැකිව තව මාද වෙලාවක් එම හිස් පිටු අතර තනි වූ මා සිතූයේ මීට අවුරදු ගණනාවකට පෙර මෙවැනි අවස්ථාවක මා කුමක් කරයි ද යන්න පිලිබඳව සිතමිනි.

මේ වන විට මාගේ මිතුරා තද නින්දක සිටි බව මා හට පෙනී ගියේ ඔහු නිදාගෙන සිටි අයුරු දැකගත් පසුය. මේසය මත තිබූ පෑන දෙසට දෑත යොමු කළේ එදවස් වල මෙන් මෙන් මාගේ සිතේ තිබෙන නිදහස් අදහසක් ලිවීමේ බලාපරොත්තුවෙනි. අවසානයේ හෝ ලිවිය යුත්තේ කුමක්දැයි මට වැටහිණි.

ඉතිරි වී තිබූ සීතල තේ කොටසෙහි කිසිදු රසයක් අඩංගු නොවූ නමුත් ජලය පානය කරන්නාක් මෙන් එය ඉක්මනින් පානය කළෙමි. ඒ වන විට මා තේ කෝප්පයක් හදාගැනීමට සිතාගත් අරමුණ ඉටුවී තිබූ හෙයින් එම අවසන් ස්වල්ප පානය කිරීම මා හට අපහසු වූයේ නැත.

බොහෝ කලකට පසු මා දිනපොත මත මාගේ පෑන් තුඩ තැබුවේ නව කතාවකට මුලපුරමිනි. රූසෝ මාගේ මිත්‍රයා මා අසල සිටි බැවින් මා හට තනිකමක් දැනුනේ නැත. වචනයෙන් වචනය ලිවීම ආරම්භ කළ මා හට ස්වල්ප මොහොතක් ගතවෙත්ම පෙර මා හට තිබූ ලිවීමේ හැකියාව නැවත ඉස්මතු වන ලකුණු පෙනී ගියේය.

මෙය මාගේ අවසන් යොමුව වීමටද ඉඩ ඇත. නැතහොත් තවත් ඉදිරියට නව පරිච්ඡේදයන් අන්තර්ගත වීමදට ඉඩ ඇත. කළ යුතු වන්නේ අවසානය වන තෙක්ම තමාගේ ජීවිතය විඳීම ය. අමතකව යන හෝ ඒකාකාරී මතකයන් ලෙස සලකා දමන්නේ නැතිව, දිනපොතක සටහන් කිරීමට හැකි වන ආකාරයේ අමුතු මෙන්ම විශේෂ මතකයන් එක් රැස් කර ගැනීමය.

------------------------------------------------

තරිඳු නවාංජන හෙට්ටිගේ
(2021.08.18)

26/12/2022

මගපෙන්වන්නා

නගරයේ වීදි අතර සියලු දෙනාම කාර්යබහුල වන එම වේලාවේ මා රැඳී සිටියේ උද්‍යානයෙහි පසෙක තිබූ කුඩා බංකුවක් මතයි. එම බංකුව පැවතියේ ඇවිදීමට සකසා තිබූ කුඩා මාවතක් අසල වූ බැවින් එය සෑම විටම වාගේ තරමක් දුරට මිනිසුන්ගෙන් පිරී පැවතුණි. එම මාර්ගයෙහි මා පසු කරගෙන යමින් සිටින සියලු දෙනාම පාහේ කුමන හෝ කාර්යයක නියැලෙමින් සිටි හෙයින් තම තමාගේ අවට පිළිබඳවද අවධානය අඩු බවක් පෙන්නුම් කිරීමට සමත් විය. හිස පහත් කරගෙන මද කල්පනාවක නිමග්නව සිටියද එම සියලු දෙනාගේම ගමන් විලාශය අනුව මා හට ඔවුන්ගේ හැසිරීම පිළිබඳව කිව හැකි විය. මෙවැනි අති විශාල පිරිස අතරේ මා යනු එක්තරා ආගන්තුකයෙකු යැයි සිතුණු වාර ගණන අනන්ත වූවද එම හැඟීම මා හට නුහුරු නොවූයේ මා එයට හැඩ ගැසී සිටි නිසාවෙනි.

සියලු දෙනාම වාගේ මා සිටි ස්ථානය අසලින් ඉක්මනින් ගමන් කරනු ලැබූයේ මා අසලින් අද්භූත ආකාරයක් ඔවුන් හට දැනුනු නිසා යැයිද කිව නොහැක. විටින් විට අත් ඔරලෝසුව පරීක්ෂා කරමින් සිටි බැවින් කවුරුන් හෝ මා දුටුවහොත් නිසැකවම සැක මුසු බැල්මක් මා වෙත යොමු කරනු නොඅනුමානය. එයට හේතුව වනුයේ මා විසින් කුමක් හෝ සිදුවීමක් වන තෙක් බලා සිටිනවා යනුවෙන් ඔහුට හෝ ඇයට හැගී යන බැවිනි.

මා රැඳී සිටි උද්‍යානය අසලින් පිහිටි මාර්ගය දෙසින් කන් බිහිරි කරවන තරමේ ශබ්දයක් නිකුත් වූයේ එම මොහොතේය. මා අසලින් ගමත් ගත් සියලු දෙනාම පාහේ එම ශබ්දයෙන් තැතිගත් සහ පුදුමයට පත් වූ බව මා හට හැඟුණේ මෙතෙක් ඔවුන්ගෙන් පිළිබිඹු වූ කාර්යබහුල බව එක් වරම නැති වී ගිය බව තව දුරටත් දැනුනු නිසාය. හිස ඔසවා ශබ්දය ආ දෙස බැලූ විට මා දුටුවේ මිනිසුන් බොහෝ පිරිසක් ඒ දෙසට රැස් වෙමින් සිටිනා අයුරුයි. බංකුව මතින් නැගී සිටින අතරම නැවත වරක් මාගේ අත් ඔරලෝසුව දෙස නෙත් යොමු කළ මා, ශබ්දය පැමිණි දිශාවට ගමන් කරමින් සිටි අනෙක් පිරිස් අතරට එක් වූවෙමි.

එම ස්ථානය අසලට ළං වත්ම මා දුටුවේ එක් මෝටර් රථයක වම් පසින් තවත් මෝටර් රථයක් ගැටී තිබූ ආකාරයයි. රැස් ව සිටි සියලු දෙනාම පාහේ එක් වී ඝට්ටනය වී තිබූ මෝටර් රථ තුළ සිටි පිරිස් පිටතට ගැනීමෙහි අභියෝගයෙහි නිරත වී සිටියහ. අනතුරට භාජනය වූ රථයෙහි දෙදෙනෙක් ගමන් කරමින් සිටි බව මා අසලින් ගමත් ගත් අයෙක් තවත් අයෙකුට පවසනවා මා හට ඇසිණි.

පිරිස අතරින් ඒ දෙසට ගමන් කරමින් සිටි මා හට එක් වරම දැක ගත හැකි වූයේ අනතුර සිදුව තිබූ ස්ථානයට මදක් ඈතින් මාර්ගයෙහි පැත්තකට වන්නට සිටගෙන සිටි කුඩා ගැහැණු දරුවෙකි. ඒ දෙසට ගමන් කිරීම ආරම්භ කළ මා ඇය වෙත ළං වත්ම දුටුවේ ඇයගේ දුහුවිලි තැවරී පැවති මුහුණේ තිබූ බියට පත් වූ ස්වභාවයයි. ඇය අසලට ගොස් නැවතුනු මා හට ඇය ලබා දුන්නේ බිය මිශ්‍ර නමුත් හුරු පුරුදු බවක් ගැබ් වූ බැල්මකි. ඇය අසලට ගොස් පසෙකින් බිම දැන ගසාගත් මා දෙස මෙවර ඈ ලබා දුන්නේ කුතුහලය මිශ්‍ර වූ බැල්මකි. ඇයගේ හිස මෘදු ලෙස අතගා මුහුණේ රැඳී තිබූ දුහුවිලි ස්වල්පයක් පිසදැමීමෙන් පසු ඇයගේ මුහුණෙන් මද සිනහවක් ලබා ගැනීමට මා හට හැකි විය.

ඇය මා යනු කවුරුදැයි නොදැන සිටියද මා වෙතින් හිතවත් සහ හුරු පුරුදු ආකාරයක් ඇය හට දිස් වන්නට ඇතැයි මට සිතුනි. ඇයගේ සුරතල් මුහුණ දෙස බලා මද සිනහවකින් සංග්‍රහ කළෙමි.

"ඔබ ලැහැස්තිද?" එලෙස විමසූ මා ඇය වෙත මාගේ අත දිගු කළෙමි. යමක් මතක් කිරීමට සැරසෙන්නාක් මෙන් මදක් අවට නිරීක්ෂණය කළ ඈ පෙර තිබූ මද සිනහවත් සමගම මාගේ අත ග්‍රහනය කරගනිමින් තම හිස සෙලෙව්වේ "ඔව්" යනුවෙන් මා හට හැඟවීමටය. ඇය අසලින් මා නැගී සිටියේ තවදුරටත් ඇයගේ අත ග්‍රහනය කරගෙන සිටිමින්ය. පෙර තිබූ බිය මුසු වූ ස්වභාවයක් ඇයගේ මුහුණෙන් දක්නට නොලැබුනු අතර ඉදිරියට සිදුවන දේ හට මුහුණ දීමට සුදානම් බවක් ඇයගෙන් දිස් විය. මිනිසුන් සියල්ලම වාගේ අප පසු කරමින් අනතුර දෙසට දිව යද්දී මා මෙම කුඩා ගැහැණු දරුවා සමඟ එම ස්ථානයෙන් ඉවතට ගමන් කිරීම ආරම්භ කළෙමි.

කෙමෙන් කෙමෙන් ඉවතට ගමන් කරනා විට අනතුර දෙසින් පැමිණ මාගේ සවනට වැකුනේ ඉතා විශාල දොම්නසක් සහ වේදනාවක් මිශ්‍ර වූ ගැහැනියකගේ හැඩීමකි. එක් මවකගේ දුක් ගැනවිල්ලකි.

මාගේ සිතටද මද වශයෙන් හෝ දොම්නසක් ගෙන දීමට මෙම සිදුවීම සමත් වූ නමුත් මා හට කළ හැකි කිසිවක් නොවීය. මෙවැනි සිදුවීම් ඇති කිරීමට හෝ වැළැක්වීමට මා හට බලයක් නොවීය. මා යනු එක්තරා ආකාරයක මාර්ගෝපදේශකයෙකු පමණක්ය. මෙම ලෝකයේ සියලු දෙනා හටම මරණයෙන් පසු මග පෙනිවීම පමණක් මාගේ කාර්යය විය.

------------------------------------------------

තරිඳු නවාංජන හෙට්ටිගේ
(2022.09.22)

06/12/2022

එක්තරා නිමේෂයක්...

තරමක් අඳුරු මෙන්ම ශීත පරිසරයකට හිමිකම් කී ඉදිරිය දෙසට පමණක් විහිදෙන එක්තරා ගමන් මාර්ගයකි. එම මාර්ගයේ එක් පසෙක තිබෙන එක්තරා බස් නැවුම්පොළකි. වෙනත් කිසිවෙකු එහි නොසිටි අතර මා එහි රැඳී සිටියේ මා ගමන් කිරීමට නියමිත බස් රථය එම බස් නැවතම්පොළ වෙත පැමිණෙන තෙක්ය. මා සිටිනුයේ කොහිදැයි මා හට වැටහීමක් නොතිබුණි. මා සතුව කිසිදු ආකාරයක ගමන් බෑගයක් හෝ කිසිවක් නොවුණි. මෙම ස්ථානයට මා කෙසේ පැමිණියේද යන්න පිළිබඳවද කිසිදු අදහසක් මාගේ සිත තුළ හෝ මතකයෙහි තිබුණේ නැත. මෙම බස් රථය එන තෙක් සිටිය යුතු බවත්, එම බස් රථය පැමිණි පසු එයට ගොඩ විය යුතු බවත්, බස් රථය විසින් මා රැගෙන යන නැවතුම තෙක් මා යා යුතු බවත් පමණක් මාගේ සිතෙහි සනිටුහන් වී පැවති අභිප්‍රායයන් විය.

වෙනත් කිසිවක් පිළිබඳව අවධානයක් යොමු නොකර හිස් බැල්මකින් යුතුව සිටි මා, සිහිනයක සිට එක් වරම අවදි වන්නාක් සේ යථා තත්ත්වයට පත් වූයේ ළඟ ළඟම පැමිණෙන බස් රථයේ තීව්‍ර හඬ කෙමෙන් කෙමෙන් ඇසෙන්නට වූ හෙයිනි. එසේ ළං වූ බස් රථය, නැවතුම්පොළ අසල නවතන තෙක්ම මා නිසලව සිටියෙමි. කෙමෙන් හිස එසවූ මා බස් රථය දෙස බැලූයේ කොපමණ පිරිසක් එය තුළ සිටීදැයි යන්න දැක ගැනීමට නමුත් බස් රථයෙහි ජනෙල් අසල ගැවසුනු අන්ධකාරය විසින් එම අදහස ව්‍යර්ථ කිරීමට සමත් විය. එම මොහොතේම, කුඩා ශබ්දයක් නගමින් බස් රථයේ ඉදිරිපස දොර විවෘත විය. හිඳගෙන සිටි අසුනෙන් නැගිට ගත් මා බස් රථයට ගොඩවීම පිණිස ඉදිරියට පියමැන්නෙමි. ඒ සමඟම මා හට ඇසුනේ යම් අයෙකු බස් රථය තුළ සිට එයින් බැස ගැනීමට ඉදිරිපස දොර දෙසට පැමිණෙන ශබ්දයයි. මඳක් නැවතී සිටි මා එම පුද්ගලයා බස් රථයෙන් බසින තෙක් රැඳී සිටියෙමි.

බස් රථයේ ද්වාරයෙන් පිටතට පැමිණියේ තරමක් ව්‍යාකූල පෙනුමක් තිබූ පුද්ගලයෙකි. ඔහු මා පසු කළ ගිය ස්වල්ප මොහොත තුළ අඳුර මධ්‍යයේ හෝ ඔහු සිටි තත්වය පිලිබඳව මා හට යම් අදහසක් ලබාගැනීමට හැකිවිය. ඔහුගේ මුහුණේ සහ ආවරණය නොවී තිබූ සමෙහි විවිධ තුවාල කැළැල් දැක ගැනීමට මා හට හැකිවිය. තවද ඔහුගේ දෑසේ තිබූ කඳුළු ද මා හට යන්තම් දැකගැනීමට හැකිවූයේ ඔහු එය සඟවන්නට උත්සාහ නොකළ හෙයිනි. මා පසුකර ගොස් බස් නැවතුම්පොළ තුළට ගිය ඔහු මා පෙර අසුන් ගෙන සිටි ස්ථානයේ අසුන් ගත්තේ ඔහුගේ මුහුණ ඔහුගේ දෑත් තුළ සඟවා ගනිමින් සහ තව දුරටත් හඬමිනි. ඔහුගේ ක්‍රියා කලාපය මා හට වැටහුනේ නැත. නවත්වා තිබූ බස් රථයට ගොඩ වීමෙන් තොරව මෙම පුද්ගයා දෙස මා මඳක් බලා සිටියෙමි. නමුත් ඔහු හිඳගත් මොහොතේ පටන් ආරම්භ කර තිබූ හැඩීම එලෙසම දිගටම පැවතුණි. මා පසු කර ගියද මා සිටියාද නැතිද යන්න පිළිබඳව ඔහු හට අවබෝධයක් නොතිබූ බව මට හැඟිණි. බස් රථයෙන් ඉවත්ව ඔහු කරා මඳක් පියමැන්න මා ඔහුගේ උරහිස මත දෑත තබා ඔහු හට කතා කිරීමට සූදානම් වූයෙමි. එසැනින් මා හට ඇසුනේ බස් රථයේ ගෝෂකාරී නලා හඬයි. ප්‍රමාද විය නොහැකි බව හැඟුණු මා, ඔහු වෙත දිගු කිරීමට සැරසුන අත නැවත ඉවතට ගෙන එම පුද්ගලයා දෙස අවසන් වරට බැල්මක් හෙළා නැවත බස් රථය දෙසට පියමැන්නෙමි.

බස් රථයට ගොඩ වූ මා බස් රථය තුළට නෙත් යොමු කළෙමි. එය තුළ වෙනත් කිසිදු පුද්ගලයෙකු සිටියේ නැත. යම් කුතුහලයක් මිශ්‍ර පුදුමයක් විසින් මා සිත වෙලා ගැනීම ආරම්භ කළද, ඒ පිළිබඳව තැකීමක් නොකළ මා, මා හට සිත් ගත් අසුනක් දෙසට ගොස් එහි ජනෙල් කවුළුව අසලට ගොස් හිඳ ගත්තේ මෙම ගමන පුරාවට බස් රථයෙන් එපිට තිබෙන පරිසරයේ අයුරු දැක ගැනීමට සිතාගෙනය. ජනෙල් කවුළුව දෙසට මා නෙත් යොමු කළ විට අන්ධකාරය අතරින් හෝ මා හට දැක ගැනීමට හැකි වූයේ මාගේ මුහුණෙහි යම්තාක් දුරට පැහැදිලි ප්‍රතිභිම්බයකි. ඉමහත් පුදුමය දනවන කරුණක් වූයේ මාගේ මුහුණේ ප්‍රතිභිම්බය බස් රථයෙන් බැස ගිය පුද්ගලයාගේ මුහුණේ පෙනුමට සමාන වීමය. එය මාගේ සිත මදකට සලිත කිරීමට සමත් වුවද, මාගේ මුහුණේ ආකාරය පිළිබඳව මතකයක් පෙර සිටම මා හට නොතිබුනේ ඇයි ද යන සිතුවිල්ල මාගේ සිතට ගෙන ආවේ එයට වඩා තරමක් විශාල බියකි.

එසේ මදක් කැළඹි තිබූ මාගේ සිත නැවත යථා තත්ත්වයට පත් කරනු ලැබූයේ බස් රථය කෙමෙන් ඉදිරියට යාම ආරම්භ කළ පසුය. ඉදිරියට යන අතරතුර යන්තමින් බස් නැවතම්පොළ දෙස බැලූ මා හට පුද්ගලයා දැක ගත නොහැකි විය. ඔහු මෙතරම් කුඩා වේලාවක් අතරතුර කොතැනක නම් අතුරුදහන් වන්නට ඇත්ද? එලෙස තවත් එක් ගැටළුවක් මාගේ සිතට ඇතුළු විය.

බස් රථය ඉදිරියට යාම ආරම්භ කර තිබුණි. මාද එය සමඟ ඉදිරියට යාම ආරම්භ කර තිබුණි.

එලෙස එම මාර්ගයෙහි ගමන් ගන්නා අතරතුර මා හට කෙමෙන් කෙමෙන් බස් රථයෙන් බැසැගත් පුද්ගලයා පිළිබඳ තිබූ මතකය බොඳ වී යාමට පටන් ගත්තේ, එය සිහිනයක සිදු වූ දෙයක් ද යනුවෙන් සිතීම මා වෙත ඉතිරි කරමිනි. සිහිනයක් ලෙසින් අමතකව යාමට පළමුව, මා හට මා පිළිබඳව කිසිදු දෙයක් මතක නැත්තේ මන්ද?, බස් රථයෙන් බැස ගිය පුද්ගලයාගේ මුහුණ සහ මාගේ මුහුණෙහි සමානකම් තිබූයේ කෙසේද? ඔහු මුහුණ පා සිටි තත්වය කුමන ආකාරයේ තත්වයක් වන්නට ඇත්ද? හඬමින් සිටි ඔහු එක් වරම අතුරුදන් වූයේ කොහිද? මෙවැනි ගැටළු මා සිතට නැගුණු නමුදු එම ගැටළු පිළිබඳව සිතීමට මා විසින් කාලය වැය කළේ නැත. ඒ පිළිබඳව සිතීම සඳහා කාලය ඕනෑ තරම් මා සතුව තිබුණද එම දේවල් වලට සිත යොමු කිරීමට මා හට මාගේ සිත විසින්ම අවසර දුන්නේ නැත.

ඉදිරියට යන අතරතුර මා හිඳගෙන සිටි අසුන අසල තිබූ ජනේලයෙන් ඈත ක්ෂිතිජය දෙස බැලූ මා හට දැකගනීමට ලැබූයේ උදාවන හිරු ය. හිරුගේ රශ්මිය ජනෙල් කවුළුව තුළින් ඇතුළු වී මාගේ දෑසෙහි පතිත වූයේ දෑස් නිලංකාර කරමින් සහ මා සිහින ලෝකයක් වෙත ගෙන යාමට තැත් කරන ලෙසිනි.

------------------------------------------------

තරිඳු නවාංජන හෙට්ටිගේ
(2022.01.25)

30/11/2022

ඇය!

සෑම දවසකම වාගේ සවස් වරුව මාගේ ලියන මේසය සහ මාගේ දිනපොත සමඟ ගත කරන මා හට මෙදින ද වෙනසකින් තොර දිනයක් විය. මද කලකට පෙර සිදුවූ හද කම්පා කරවන ලද විපතක් හේතුවෙන් මාගේ පවුලේ අය මෙන්ම අන් සියලු දෙනාම පාහේ මා හට දිනපොතක් ලිවීම ආරම්භ කරන ලෙස පවසා සිටියේ මානසික ආතතිය පිට කිරීම සඳහා එය උපකාර වනු යැයි පවසමිනි. තවද, එය මාගේ හැගීම් ප්‍රකාශ කිරීමටද උපකාර වනු ඇතැයි බොහෝ අයගේ මතය විය. එය සත්‍යයක් වූයේ මේ වන විට මා හට එහි කුමක් හෝ නොලියා සිටීම, එක වේලක් හෝ ආහාර නොගෙන සිටීමක් වැනි වූ ආකාරයකට පත්ව තිබූ නිසාය. මා කුමක්හෝ සිදු කිරීම ආරම්භ කළ විට මාගේ මුළු අවධානයම ඒ වෙත යොමු කිරීමට සූදානම් වී සිටි පුද්ගලයෙකු වූ බැවින්, දිනපොතෙහි ලිවීම ආරම්භ කළ විට කාලය ගතවන්නේ මා හට මදකුදු හෝ නොදන්වමිනි. මාගේ ලියන මේසය මත තිබූ ඡායාරූපයක්, පෑන් රඳවනයක් සහ කුඩා මේස ඔරලෝසුවක් අතරින් දිනපොත කැපී පෙනීමට හේතු වූයේ, සෑම දිනක පාහේ එහි ලිවීම සඳහා මා එය භාවිතා කරනා බැවිනි.

අනෙක් දිනයන් වලට වඩා මෙදින මා හට විශේෂ වූවා මෙන්ම, එම විශේෂත්වයට හේතු වූ කාරණාව මතක් කරනා විට සිතට දුකක් ගෙන දෙන්නා වූ දිනයක් විය.

එම හැගීම් සියල්ල මා සිතෙහි තැන්පත් කරගනිමින් දිනපොතෙහි පිටු අතර තනි වූ මා හට එක් වරම ඇසුනේ කාමරයේ දොර විවර වන ශබ්දයයි. දිනපොතෙහි පිටු අතරින් මදකට අවධානය ඒ දෙස යොමු කළ මා හට දැකගත හැකි වූයේ මාගේ සුන්දර බිරිඳ කාමරයේ දොර අසල රැඳී සිටින ආකාරයයි. මා පළමු වරට දුටුවාක් මෙන් බැල්මක් ඇයගේ මුහුණේ තිබුනි. ඇයගේ අහිංසක සිනහව දුටු විට නැවත ඇය වෙත සිනහවකින් සංග්‍රහ නොකර සිටීමට මා හට කෙදිනවත් සිදු කළ නොහැකි කාර්යයක් විය.

කාමරය තුළට පැමිණි ඈ මාගේ ලියන මේසය අසලට පැමිණියේ මාගේ දිනපොත දෙස නොබලමිනි. දින පොතෙහි මා ලියමින් තිබූ පිටු අතරින් පෑන තබා පොත වසා තැබූ මා ඈ දෙස මද වෙලාවක් බලා සිටියෙමි. මාගේ ජීවිතයේ පළමු වරට ඈ දුටු විට මාගේ සිතට ගලා ආ එම සොඳුරු සිතුවිලි නැවතත් මාගේ සිතට ගලා එන අයුරු මා හට දැනෙන්නට විය.

නැගිට සිටි මා විසින් ඇයව මාගේ ලියන මේසයේ පුටුව මතින් වාඩිකරවා බිම දනගසාගත්තෙමි. ඉන්පසු ඇයගේ මුහුණ දෙස මද වෙලාවක් බලා සිටියෙමි. ඇයගේ මුහුණේ පැවති සිනහව කෙතරම් සුන්දරද යැයි මට වචනයන් යොදාගනිමින් විස්තර කළ නොහැක. මාගේ දෑත් වලින් ඇයගේ දෑත් මෘදු ලෙස ග්‍රහනය කරගත්තේ තව දුරටත් ඇයගේ සිනහවෙහි සුන්දරත්වය සිතින් වර්ණනා කරමිනි.

"කෙසේද මා වැනි අයෙක් හට මෙවන් බිරිඳක් හිමි වූයේ?".... මෙය මා විසින් සැරින් සැරේ මාගේ සිතින්ම අසාගන්නා විශාල පැනයකි. එක් වරක් මා එය මාගේ බිරිඳගෙන් ඇසූ කළ ඈ කියා සිටියේ, ඒ ඇය මාගේ ආත්ම සහකාරිය නිසාය කියාය. එය විය හැකි වූ නමුත් සිතින් සහ රූපයෙන් මෙතරම් සුන්දර කාන්තාවක් මා හට හිමි වූ අයුරු මටම මහත් අභිරහසක් විය.

තවමත් ඇයගේ දෑස් දෙස බලාගෙන සිටි මාහට ඈ විසින් වචනයකුදු හෝ නොපැවසුවේ මා මෙවැනි දේවල් ඉඳ හිට කරනා බව ඈ දන්නා හෙයින් විය හැක.

ඇයගේ දෑස් වෙනස්ම ආකාරයේ කතාවක් මා හට පැවසීමට සැරසෙන්නාක් මෙන් මට හැඟිණි. එය මා හට නොතේරෙන අමුතු භාෂාවක් මෙන් වූ නමුත් බලා සිටීමට තරම් සිත දුණි.

ජීවිතය කෙතරම් කටුක වූවද ඇය සමීපයේ මා හට දැනුනේ සැනසිල්ලක් පමණි. දෑසට නැගි සතුට මිශ්‍ර වූ කඳුළු බිඳුවක් පිසදා ගනිමින් ඇයගේ උකුල මත හිස තබාගත් මා හට දැනුනේ ඇගේ සිනිදු දෑත මාගේ හිසකෙස් අතරින් රැගෙන යන ආකාරයයි. එය මාගේ සිතට ගෙන දුන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ නිදහසකි. හිස ඔසවා නැවතත් ඈ දෙස බැලූ මා හට සිනහවෙන් පිරී තිබූ ඇයගේ මුහුණ නැවත වරක් දැකගැනීමට හැකිවිය. මා පිළිගන්නවාක් යනුවෙන් හඟවමින් තම හිස මදක් සෙළවු ඈ මාගේ නළල මතින් හාදුවක් තැබූයේ මාගේ සිතිවිලි ඈ වටහාගත් බව මා හට පැවසීමට මෙනි.

නැවතත් ඇයගේ උකුල මතින් හිස තබාගත් මා හට මද වේලාවකින් දැනී ගියේ මාගේ දෑස් ඉබේම පියවෙන අයුරුය. එය සමඟ සටන් කර ඵලක් නැති හෙයින් නින්ද මා අසලට පැමිණීමට ඉඩ දුන්නෙමි. දෑස් පියවෙන්නට ලන් වන විටම වාගේ මා හට ඇසුනේ මාගේ බිරිඳගේ මිහිරි කටහඬයි. ඉතාම දුරක සිට ඈ කතා කරන්නාක් මෙන් මා හට ඇසුනේ මා අඩ නින්දේ සිටි නිසා විය හැක. නින්දට අවතීර්ණ වෙමින් සිටියද, ඈ පැවසූ වදන් මාගේ සවනට ග්‍රහනය කර ගැනීමට මා සමත් විය: "හිතට ධෛර්‍යය ගන්න. හැමදේම හරියයි"...

නැවත මා අවදි වන විට මා ඉඳ සිටියේ මාගේ ලියන මේසයෙහි පුටුව මත වූ අතර හිස තබාගෙන සිටියේ මේසය මතය. දිනපොත තවමත් දිග හැර තිබිණි. හිස ඔසවා කාමරය තුළට නෙත් යොමු කළ මාගේ මුවඟට මද සිනහවක් නිතැතින්ම වාගේ පැමිණියේ සිදු වූ දේ පිළිබඳව වටහාගැනීමට හැකි වූ හෙයිනි. නැවත වරක් මා විසින් දිනපොතෙහි මතකයන් අතර තනිව ගොස් සිටියෙමි.

මේසය මත තිබූ ඡායාරූපය දෙස මදක් බලා සිටි මා එය අතට ගත්තෙමි. එයට මෘදු හාදුවක් ලබා දී මද වේලාවක් ඒ දෙස බලා සිටියේ කම්මුල් දිගේ ගලායමින් පැවතුණු කඳුළු බිඳු පිළිබඳව නොතකමිනි. එහි සිටියේ මාගේ බිරිඳයි. එම ඡායාරූපයෙහි ඇයගේ හිසකේ සියල්ල පාහේ ගිලිහී ගොස් තිබුණද එම සුන්දර සිනහව මුහුණින් මදකුදු හෝ අතුරුදන් වී නොතිබුණි. දෑස් මදක් කිඳා බැසගත් ආකාරයක් දක්නට ලැබුණද තවමත් වෙනස්ම ආකාරයේ කතාවන් කීමට සමත් විය.

"සුභ සංවත්සරයක් වේවා මාගේ සොඳුරිය." මෙලෙස පවසමින් ඇයගේ ඡායාරූපය නැවත මේසය මතින් තැබූයේ දිග හැර තිබූ දිනපොතෙහි පිටු කඳුළු බිඳු වලින් තෙත් කරමිනි.

------------------------------------------------

තරිඳු නවාංජන හෙට්ටිගේ
(2022.07.18)

22/11/2022

සන්ධ්‍යාව!

එයද එක්තරා සන්ධ්‍යවකි. සාමන්‍ය සන්ධ්‍යාවක දැකිය සහ ඇසිය හැකි සියලුම ආකාරයේ සිදුවීම් සදහා එදිනද කදිම දිනයක් වුණි. නමුදු ඊට මද වේලාවකට පෙර ඇති වූ වර්ශාවක් හේතුවෙන්, කදිම සන්ධ්‍යාවක් වීම සදහා එයට තිබූ ගුණාංග සියල්ලක්ම පාහේ අතුරුදන් ව ගොස් තිබිණි. නිවස තුලට වී සිටි මා හට දැණුනේ විස්තර කළ නොහැකි ආකාරයේ හැගීමකි. එම සිතුවිල්ලද, සිතෙහි එක් කොටසක සගවා තබා ගන්නා අතරම නිවසෙන් මදක් පිටතට පැමිණියේ කෙසේ හෝ අයුරින් එම සන්ධ්‍යාව විදීමේ අදහසිනි.

මදක් අදුරු අහස, එය තුලම සෙමින් සෙමින් ගිලී යමින් පවතින සූර්‍ය්යා සහ පිණිබිදු රැදී තිබූ තෘණ ගස් මගේ සිතෙහි මද ප්‍රබෝධමත්භාවයක් මෙන්ම සාන්කාවක්ද ඇති කිරීමට සමත් වුණි.

පියගැටපෙළ මත අසුන් ගත් මා යමක් මෙනෙහි කිරීම ආරම්භ කළෙමි. වර්ශාවට පෙර තිබූ පරිසරය සහ එහි ස්වාභාවය මෙන්ම පරිසරයේ නව ස්වාභාවය අතර වෙනස පිළිබඳව සිතීමට ආරම්භ කළෙමි.

"පළමුව අහස අදුරු වළාවන්ගෙන් වැසී ගියේ, පොළොව සිප ගැනීම සදහා කිසිදු අවස්ථාවක් හිරු කිරණ හට ලබා නොදෙමින් වන අතර රැදී තිබූ ආලෝකයද විනාශ කර දමමිනි. ක්‍රම ක්‍රමයෙන් වැහි බිදු පතිත වීම ආරම්භ වූ අතර එය මහ වර්ශාවක් වීමට ගත වූයේ සුලු මොහොතකි.
සියල්ලන්ම තම අණසකට යටත් කරගන්නාක් මෙන් මහා ඝෝෂාවක් නගමින් පතිත වූ වර්ශාව මද වේලාවකට පසු ආරම්භ වූ ලෙසම සෙමින් සෙමින් එහි අවසානය කරා ලගාවිය."

නමුත් දැන් පරිසරය පැවතියේ ඊට බොහෝසෙයින් වෙනස් ආකාරයකටය.

"අදුරු වළාවන් විසින් ගිලගත් සූර්‍යා නැවත තම කිරණ පොළොව දෙසට යොමු කරමින් පැවතිණි. කිසිදු ශබ්දයක් නොපැවතුණු හෙයින් ගසක අත්තක සිට නිවසේ වහලය මතට පතිත වන කුඩා දිය බිදුවක ශබ්දය වුවද ඉතා පැහැදිලිව ඇසිය හැකි විණි."

ජීවිතයද මෙලෙසම යැයි මට සිතුණි.

වර්ශාව නොමැති විටදී පරිසයේ නිස්කලංකභාවයෙන් කියැවෙන්නේ සාමකාමී සහ සතුටෙන් ගතවෙන දිවියක් නොවේද?

කෙමෙන් අදුරු වන අහසෙන් කියැවෙන්නේ එම සොඳුරු දිවියෙහිද සෙමින් අන්ධකාරය පැතිර යන බවද?

එසමගම ආරම්භ වන ඝෝෂාකාරී වර්ශාවෙන් කියැවෙන්නේ ජීවිතය තුල ඇතිවන දුක් කරදරද?

නමුත් වර්ශාව අවසාන වන අවස්ථාවේ මෙන්, එම දුක් කරදර අවසානයේ සියලුදේම නැවතත් යතා තත්වයට පත්වනවාද?

නැතහොත් වර්ශාව මගින් සෝදාහල එම පරිසරය නැවත පෙර තිබූ ආකාරයට පත්වීමට කාලය ගතවන්නාක් මෙන් එම දුකින් මිදීමටද කාලය ගතවනවාද?

ජීවිතය යනු මෙය නේද?

අපගේ දිවියටද මෙවැනි වර්ශා පැමිණි විටදී එය අවසන් වී යන තෙක් අපහටද බලා සිටීමට සිදුවනවාද?

නැතහොත් එම වර්ශාවෙන් සේදී ගොස් විනාශ වී යන තෙක්ම බලා හිදිනවාද?

එම වර්ශාවෙන් සේදී යාමෙන් වැළකීම සදහා ආරක්ෂා වීමටද අපහට අවස්ථාවක් ලබාගත හැකිද?

මෙවැනි ගැටලු මාගේ මණස ආක්‍රමණය කරන්න විය. ජීවිතයේ යතාර්ථය පිලිබඳව මෙවැනි ගැඹුරු සිතිවිලි වල කිමිදෙමින් මා සැදෑ අහස දෙස බලා සිටියෙමි.

------------------------------------------------

තරිඳු නවාංජන හෙට්ටිගේ
(2020.04.24)

12/11/2022

සිහිනය!

එය තැනිතලාවකි. නිමක් නොපෙනෙන, දකින්නෙකුගේ සිත තුල තනිකම වැනි හැගීමක් ඇති කිරීමට සමත් වන නමුත් නිස්කලංක තැනිතලාවකි. මා එහි මධ්‍යයේ සිට ගෙන සිටින්නේ අසිරිය විදිමින්ද යැයි මා හට කිව නොහැක. මන්දයත් එවෙලෙහි අවට පැවති අදුරු ස්වාභාවය සමග තැනිතලාවෙහි මදක් හෝ පැවති සුන්දරත්වය හට සටන් කළ නොහැකි බව මා හට වටහාගත හැකි වූ හෙයිනි.

කෙමෙන් කෙමෙන් වර්ධනය වූ දීප්තිමත් ආලෝකයක් සමග එම තැනිතලාවෙහි පෙනී සිටියේ තරුණියෙකි. සිනහවද, දෙනෙත්ද ඉතාම අලංකාර බව යන්තම් දැක ගැනීමට හැකි වුවද එම හිමිදිරි තරුණියගේ මුහුණ පැහැදිලිව දැක ගැනීමට නොහැකි වූයේ උදෑසන සූර්යාලෝකය පතිත වූ විට එය ස්පර්ශ කරනා සියල්ල දිදිදුළන්නට පටන් ගන්නාක් මෙන් ඇය දිලිසුණු බැවිනි. තැනිතලාවෙහි මධ්‍යයට මදක් එපිටින් ඈ පාවෙමින් සිටියේ ඇයගේ සිරුර එතරම් සැහැල්ලු බව කියාපාමිණි.

ඈ වෙත යාමට තැත් කළෙමි. නමුදු සිරකර බැද සිටින්නාක් මෙන් හැගුනි. එලෙසම සිට දේවතාවියක බඳු ඈ දෙස බලා සිටීමට සිදුවිය.

ක්‍රමයෙන් අවට පැවති අදුර පහව යාමට ආරම්භ වූයේ ඇගේ දීප්තිය තව තවත් වර්ධනය වූ නිසාය.
පෙර අපැහැදිලිව පැවති සියලුම දේ මා හට පෙනී ගියේ මාගේ දෙනෙත් ආවරණය කර තිබූ යමක් ඉවත් කළ ලෙසිනි.

චලනය වීමට නොහැකිව ඒ දෙස බලා සිටියෙමි.

කාලය ගතවුනි.

මෙම මුළු කාලය තුළ මාගේ කාර්යය වූයේ එම තරුණිය දෙස පමණක් බලාසිටීම විය.

එයට හේතුව වූයේ, යම්හෙයකින් ඇගේ රුව මාගේ ඇස් වලින් ඉවතට ගතහොත් ඇයව මා හට මග හැරේ හෝ නැවත දැකගත නොහැකිවේ යන විශාල බියක් මාගේ සිතෙහි තිබූ බැවිනි.

කාලය ගත වුවද, මා හට චලනය විය නොහැකි වුවද, ඇය දෙසම බලා සිටීම මා හට දුකක් නොවීය. අවට පරිසරයේ සිදුවූ වෙනස්කම් පිළිබඳව ද මා හට නොහැගී ගියේ එලෙසිනි.

ක්‍රම ක්‍රමයෙන් මිහිදුම් වලාවක් තැනිතලාව වෙලාගනිමින් පැතිර යන බව දුටුවෙමි. ආලෝකමත්ව තිබූ පරිසරය කෙමෙන් කෙමෙන් එම වලාව විසින් ගිල ගන්නා බව පෙණිනි.තණපත්, කුඩා ශාක මෙන්ම සුන්දරත්වයද අහිමී වී යන බව දුටුවෙමි. මෙතෙක් කාලයක් අත්විඳි සියල්ල මගේ ඇගිලි තුඩු අතරින් ගිලිහී යන බව වැටහිණි.

අවසන් වරටත් ඈ දෙස බැලීමට උත්සහ කළෙමි. මා පමා වූවෙමි.

මිහිදුම් වලාව තුල ඈ එක් සෙවණැල්ලක් පමණක් බවට පත්විය.

මිහිදුමේ තරුණිය තවදුරටත් මා හට දැක ගැනීමට නොහැකි විය.

කාලය තවදුරටත් ගතවුණි.

වලාව නික්මයාම ආරම්භ විය.
නමුත් තැනිතලාවෙහි මධ්‍යයට මදක් එපිටින් පැවතියේ හිස් බිම් පෙදෙසකි.
සෙවණැලි තරුණිය සිටියේ නැත.

නැවත අන්ධකාරය තුල සිර වී සිටි මා, සියල්ල වටහා ගැනීමට තැත් කළෙමි.

එය මාගේ සිතේ ඇති වූ එක් සිතුවිල්ලක් පමණද?
ඇගේ සිනහව, දෙනෙත්, හුදෙක්ම එක් මායාවක්ද?
මිහිදුම් වලාවෙන් වැසීගියේ තැනිතලාව නොව මාගේ හැගීම්ද?
මගේ සිත මා හට මෙවන් විවිධ දර්ශනයන් මවා පෙන්වීමට තැත් කරනවා නම් මගේම සිත මා හට විශ්වාස කිරීමට හැකිද?

ඒ බව මා හට කිසි දිනෙක දැනගැනීමට නොහැකි වනු ඇත.

සිහින තරුණිය, අවසානයේ විශාල සිහින රාශියක් ඇති තැනිතලාවක් මධ්‍යයේ තිබෙන තවත් එක් සිහිනයක් බවට පත් විය!

කාලයේ වැලිතලාවෙන් මාගේ සිතුවිලි වසා දැමීමට තැත් කළද කිසිදා අමතක නොවනු ඇත!

------------------------------------------------

තරිඳු නවාංජන හෙට්ටිගේ
(2020.01.30)

12/11/2022

Every story I build succeeds in bringing a special part of my heart to life!
So, I welcome you all to experience some of the moments in my simple journey! ❤️

Website