තු හීන
Poetry makes me DREAM! Come to my bubble and you will feel the same
රළ බිඳෙන
රළ නැගෙන
කිරි මුහුද කළඹා
දා බිංදු දිය කර
රැගෙන මා දෝතට
සරසා ලොවට පුදදී
ඈත සිට සැනසෙන
නොසෙල්වෙන සෙනෙහස
තාත්තා..!
සව් දිය පුරමු අපි
අමාවක හවසක
දැල්වී නිවී ගිය
තරු එළි මතක් කර
මී මධු වලින් මත්වී
දුම් වළලු වල පැටැලී
ගිහින් එමු අපි
හැබැයි
නතර වෙනු නම් නොහැකියි
බදා රඳවා ගත්
හැම දේ මිහිර
දියව වැගිරෙයි
කාලයට සමානතර තලයක
අනත්තේ කෙලවරක
දිව්‍යමය ලැඟුම් හලක
සදාකාලික නිද්‍රාවක
ඉදින් තිබුනාදෙන්
ඒ අපේ
ෆැන්ටසි සිහිනය...!
සුළඟ
ඇයි ඔහොම ඔතන
නිසසලව නැවතී දොරකඩ
රිංගා ඇවිත් හෙමිහිට
කිතිකවන්නේ නැතිද කොපුලත
බියවී වත් ද අද
මල් පෙති සැලේ යැයි පොළවට..!
කඳුළු මුතු ගෙන
මාල ගොතමින්
සිහින සඟවා
සිනා සලමින්
තවත් සිතකම
සතුට පතමින්
නිහඬවම මඟහසර පානා
සදා නොනිමෙන
පහන් ටැඹ
අම්මා....!
Ammi & me, a decade ago in Michigan
මී බිඟුන් කැන්දන කහ පැහැති මල්
සමනලුන් රන්ඳන පඬු පැහැති මල්
තෙරක් නොපෙනෙන නෙක පැහැති මල්
පිපී නැලැවෙන
වසන්තය කුමටද,
ගිම්හානය ඇවිත්
අත වනයිනම් හෙට..!
ඇරඹුමක් ඇත
නැවතුමක් නැත
සිහිනයක් ඇත
සැබෑවට දුර
දිලී හිනැහී පාර කීවද
තාරකා මියැදී
බොහෝ කල්..!
හද පතුල කැලඹී, කැලැතී
සිතුවිලි රැළිති නැඟ හැපී බිඳේ..
පෙණ කැටැති ඈතට විසිරෙයි...
සිසිලට,
කොපුලත පවා හැකිලෙයි...
සහනයක්..
නිමේශෙක සැනසීමක්...
විඳිමි!
ඉවසමි!
නොනිමි සිතුවිලි උල්පතේ
ඊළඟ
හුම්මානය තෙක්
ක්ෂනයකට වුව
මේ නිසල බව නිවනක්..!
ඇස් අගිස්සෙ දිලිසෙන
මේ කඳුළු කැට කාගෙද
නෙළුම් විල කලඹාපු
සුසුම් රොද කොයිබින්ද
තතරක පිපුනු මලකට
තනිකම කොතරම්ද
සිතුම් විහඟුන්
පියඹන්න සැරසෙන්නෙ
මේ කොහෙද
ආමඟක් නොදනිනාමුත්,
වලාකුළකින් වට වැහි බිඳක්
සොයා ඇදෙන්නේ
සයුරක්ම නොවෙද...?
මහා ලොකු නුවරක
නලියන
නියෝන් එළි මැද
ගිනි කණ වැටුනු දෙනෙතින්
මඟහැරුනු මිණිකැට සොයායමි
හැම අලුත් දවසක
හිරු නැගී එනමුත්
හෙටක් ගැන සිහිනයක
මංමුලාවක සරන්නෙමි
තරුද, කඳුළුද, කලතා
පින්තාරු කල
සිතුවිලි පළිඟු කැට
අහසට පා කර හරිමි
හෙට උදෙත් පෙරඹරින්
පහන් තරුවක් වී
ඒ පැතුම් දිලෙන තුරු
හැම දිනම මඟ බලමි..!
අනන්තය යනු....
හිස්තැනක්
ප්‍රේමයට කියනා
තව නමක්
ඉර බසින කනිසමක
පඬුපැහැ වලාකුලකද,
හිමිදිරි සිසිලසේ
නිහඬ බව අද්දරද,
වේගවත් නුවරක
දූවිලි වලලු ළඟ වුව,
වැව්දිය සිප ඇදෙන
මඳ පවන් රොදක් තුල,
බලාපොරොත්තුවක්
හෝ
අහඹුවක් අභිමුව
නිවී-දැල්වී
හිමිව-අහිමිව යන
විඳීමක් පමණක්මවූ
අනන්තය නම්
හිස්තැනක්මය..!
නිලුපුලී මම
ඔබේ සිත් දිය මත ලෙලෙන
ආදරය සඳ එලියක් වී
නිල් දිය මත රටාවක් මවන
"මල් පිපෙන්නෙ කුමට?"
ඔබ හැමදාමත් විමසන
"හේතුවක් ඕනෙමද?
මම පිළිවදන් දෙන
සඳ එළියට යා හැකිය දුර
කිමිද විල් පතුල විනිවිද
කෙලවරක් නම් කොහෙද
අනන්තය, එතැනයි සිහිනය
පිනි බිඳු එක දෙක පිපෙන
පැතුම් රජයන කනිසම
පුදුමයකි මේ රැය
කුමුදු නොව නිලුපුල් පූදින....!
සුනිල දිය පිරි විලක
මිදීගිය පෙදෙසක්
දුක්මුසු නොවැම්බර් සුළඟින්
බිමට වට තුරු පතක්
පෙරඹරින් බැස යන
නිවෙන්නට ළඟතරුවක්
සිසිරනිද්‍රාවට
සැරසෙනා
කුටියකට
කුමකටද ඉතින් එළියක්!!!
වැහි බිංදුවකින්
පවා ඇහැරෙන
නිදා සිටිනා
මතක ගිනි කඳු....
ගලක් වැනියැයි
උදම් බස් දෙඩු හදවත
වෙඬරු මෙන් උණුවී වැගිරෙනායුරු..
වෙනදාට හිතමිතුරු තනිකම
රකුසු ඇස් විහිදාන
සතුරු බව මතක්කර දෙන...
සැප්තැම්බරයේ...
පාළු හවසක
ඇස් පියන් වසාගමි..
වෙළුම් පටි තදකර සැරසෙමි...!
සිඳී ගිය නිම්නයක
වියළි ඉරි තැලුම් මැද
ඉතිරි වූ ලදැල්ලකි
වලාකුලකුදු නැති අහසකින්
වැසි පතන
මායාකාර සිහිනයකි
කළු පොරෝනාවක ගුලිවී නිදන,
හිතන්නට බිය, බියගුළු හදවත..
ඇස්, හිස්, දහස් ගනනක් මැද,
හුදකලාවක අරුමය..
ජීවිතේ දිගු ගමනකි..!
ආපසු හැරෙනු බැරි
ගමනාන්තය බොඳවූ
වංකගිරි පාරකි.....!
ඉඩදෙන්න,
ඔබේ ආදරයට
සුලන් රැල්ලක් වී එන්න
මගේ හද සුලන් මුහුනත මත වැද
මල් වැහි වස්සන්න
ඉරි තැලුනු නිම්මයක
මල් කැකුළු පුබුදන්න
ඉතින් ඉඩදෙන්න...
වැස්සකට පසු නැගෙන
නැවුම් සුවඳට පැතිරෙන්න
මං ආසා හිරිකඩ අතර
මීදුම මැදින් ඇවිදින්න
ඉඩදෙන්න,
ඔබ ළගින් තණබිස්සේ
වැතිරෙන්න
තැලුනු සුදු මල් අතර තනිවෙන්න
කොපුලත රැඳුනු පිණි කැට අහුලන්න
ඉතින් ඔබ ඉඩදෙන්න
මට ගසක් නැති මල්ක් වී
පිබිදෙන්න...!
අඩක් වැසි දොරකි
නෑ, ඒ අඩක් ඇරි කුටියකි.
එළිය ද, අඳුර ද නැති,
ඒ අතරමැද පෙදෙසෙකි.
සිතුම් විහඟුන් නිදා ඉන්නා සෙවනකි
අවදිවන්නට අමතකව ඇති.
ඉඳ හිට අහම්බෙන්,
දැල්වෙන පහන් දැල්ලකි
එසැනින්, කවුළුවෙන්,
රිංගනා සුළඟකි.
නිවී ගිය සිළුවකි
කිසිවක්ම ඉතිරි වී නැති...!
තවත් එක ඇරඹුමක්
මල් පිපුනු දෙවැටක්
ප්‍රේමයේ යූටෝපියාවට
පාවෙන්න වරමක්
අවදිනොමවේනම්,
සිහිනයත් රියැලිටියක්
අතරමංවේනම්,
රියැලිටිය තවත් එක සිහිනයක්...!!
මන්දාරම් වලාකුළු පාවෙන
මෙලන්කෝලියානු හවසක
දේදුන්නක් වගේ ඔබ
ඇවිත් ගිය හැටි..
ඒ විතරක්ම මදිද,
දැනෙන්නට,
ඉර තාම ඉන්න වග
හැංගිලා වලාකුළු යට...!
පරිපූර්ණ සඳකි වටකුරු
හරිමැද ආවාටයකි විසකුරු
සඳ සිසිල ගලන්නේ එතැනින්
කුමුදු පිපෙන්නේ ඒ එලියෙන්
සුව නොවුනු කැපුම්
තාවකාලික පිරිමැදුම්
හිරිවැටුනු සිතුම්
සදාකලික වත්කම්...!
මල්කම් ලියකම් හැඩදැමූ
ඔබේ ආදරයට වඩා ඝනකම්
පොරෝනාවක් මසමි..
සිසිරයට උනුහුමත්
ගිම්හානට සිසිලසත්
වසන්ත මිහිරත්
සාදන
පුදුම ඇරුමැසි
පොරෝනාවක් මසමි..
ඇස අග කදුළු පිසලන
ලවනත සිනා මල් පූදන
අඳුරු වැසි හවසක
වකුටුවී ගුලි ගෑසෙන්නට හැකි
ඔබෙ සුවඳ රැන්ඳූ
පොරෝනාවක් මසමි...
අද මා පමණක් බව
ඔබ යලිත් නොඑන වග
අමතක කල හැකි
මායාකාර පොරෝනාවක්
හැම රෑම සිහිනයෙන් මසා සැනසී නිදමි..!
නිල් දිය විලකි
අඳුරු වන ලැහැබක
දාර තුරු පෙළක් අභියස
හිරු එළිය බිඳකුදු නොදකින
දිය මත ඇඳි
සෙවනැලි මතින්
පමණක්ම
ජීවිතය කියවන....!
අඳුරු එක් දවසක
හිරු හොයන් ආ
බිම් මලක් ඇහැරිලා
ඒ මැද්දෙ නිදාඋන්
මැස්සෙක්
තටු ගසා ඉගිලිලා
"මැස්සෙක් ලු මී
බිම් මලෙත් හොයනවලු රොන් කෙමී"
ඇසේවි ලූ කසුකුසු කතන්දර පේළී
ඒ බිමමල ම යට
පුංචි නිවසකි රවුම්
සාලයේ හරිමැද
තනිවූ හදවතකි වටරවුම්
ගෙවී ගිය ඉර්තු නම් බොහෝමයි
ඇවිත් ගිය අයවලුත් එමටයි
මතක තෑගිමලුත් හරි සුලබයි
ජීවිතේ කොහොමත් මතකයක් විතරයි..!!
යතාර්ථවාදී සීතල සිසිරය
ෆැන්සි ඇඟලුම් උනා හැර දමන
ඉපල් ඇටසැකිලි පමණක් ඉතිරි කොට
මුල් වලට පොළව බදා අල්ලන්නට උගන්වන
දියවෙන හිම පතුරු මල් පූදන
ගලක වුව තෙතමනය කියාදෙන
සියල්ලම අවසන
අලුත් ඇරඹුමක
නියෝන් එළි දල්වන...!!
රතු ගඟ අසබඩ
පුංචි කුටියේ
පුංචි කවුළුව
තවමත් අඩක් විවරව
ඇවිත් යන්නට
ඔබට නොව, සඳ එළියට..!
අඩක් පියවූ දෑසක
නලියන පැතුම් පොදියක
ඉතිරි වූ වයින් සුවඳක එතී
මඟ බලන හදවතක්
එන තුරු, ඇවිත් යනතුරු
ඔබ නොවේ, සඳ එළියක්..!
නිසංසල අරණක
නොවෙනස් වන සෙවණක
හැමදාම උණුසුම්වූ
මේ සිත අම්බලමක්
ගිමන් හැර නිකම යා හැකි
සඳ එළියට නම් නොව, ඔබට...!
මිරිඟු දිය
මී විතක්
සිතිජ ඉම අසබඩ
අහසත් සයුරත් එකක්
මුලාවම අරුමැසියක්
දැන දැනම මත්වීම
අවදිනොවනා සිහිනයක්...!
ජීවිතේ එක
පුංචි හිස් පෙදෙසක
පිපි දිලෙනා
හේමන්ත කුසුමෙහි
මකරන්ද ඇතැයි රැවැටී
අතරමංවු,
පැණි කුරුළු හිතවත..
ඔබටත් මටත් මේ ලොව පොඩි වැඩියි..
අනන්තේ කෙලවර,
පුංචි මංසන්දියක,
නැවත හමුවන තුරා
මතක පොදියද රැගෙන
සමුගත යුතුම වෙයි...!
සිහිනයක් නම්
සැබෑ නොම විය යුතු..
පාර වැරදුනු දවසක
පහන් තරුවක්ව මඟ කිවිය යුතු..
අමාවක නිශාවක කෙලවර
ලහිරු ලකුණක්ව දිලිය යුතු..
සිත මුකිලිත විටෙක
පිණිබිදක් මෙන් පුබුදවාලිය යුතු..
මියැදෙනා දිනෙක
හුස්මක්ව ජීවිතය දිය යුතු..
සිහිනයක් නම් සුබ
කවමදාවත් සැබෑ නොම විය යුතු..!
සිහින දියකර
පෙරාගත් පැන කලසකි..
හිරු රැසට තිර ඇද
පිබිදවූ මල් කළඹකි...
කදුළු බිඳු එක දෙක
ගලාගිය තැන සයුරකි...
සමාන්තර විශ්වයේ
කොහේහරි එක් තැනක
මගෙ ළඟින් ඔබ ඉන්නවා ඇතී..!
වයන්න ඔබේ ගිටාරය
පිරිමදින්න මා හදවතේ තත්
පා සලඹ විසිරී බොහෝකල්
ඒනමුත්,
සිත් කොනේ අඳුරු මුල්ලක
සැඟවුනු හීනි පද තාල
මඟ බලයි
අනුනාද වන තුරා
නැවුම් වූ තනුවක මිහිර
ඉදින්,
වයන්න ඔබේ ගිටාරය
සැන්ටානා ට නොපරිදින පරිද්දෙන්
පිරිමදින්න මා හදවතේ තත්
පෙර කවරදාවත් නොරූවිරූ අයුරින්
කිංකිනි නදින් ඇහැරේවි
නිදා උන් ජීවිතය මනකල්...!
ගෝලාකාර
වීදුරු පතුලක
හිරවුනු
රතු cabernet බිංදුවක්..
පවසාවි මිදි ගෙඩියකට
ජීවිතේ හපයක්
ආදරේ කහට රස පැණියක්..!