Dilum Niroshini De Costa
ඔබ වෙනුවෙන් සිතමි.
ඔබ වෙනුවෙන් ලියමි.
දැන් මමත් පෙම්වතෙක් ....
තරු බැස ඇවිත් මහ පොළොවට නිහඬ රැයේ
සිත ළග දිලෙයි සිහිකරමින් දෙනෙත ඇගේ
කිම පැය දිගුව නුඹ නොමැතිව ගෙවෙන රැයේ
මෙතුවක් මගේ වූ සිත කොතැනකද ගියේ
හිරු සඳු එකම අහසක නැග දිලෙන වෙලේ
මට පෙර ගොසින් දෙනුවන් මග බලන පැයේ
තවරා පාට සුවඳැති සුදු පිච්ච මලේ
මගේ නෙත ගැටී යන් සැමටම හොරෙන් ලොවේ
පෙම්වත් වෙලා සිත කලකට පසු රහසේ
ලොව හැඩ වී දකිමි දේදුන්නක් විලසේ
නොකියා ඇවිත් හැඩ කළ දිවියම සිතු සේ
කිරිලියෙ නුඹයි මේ ලොව මා සතු හැමදේ
දිළුම් නිරෝෂිණී ද කොස්තා
මා මෙතෙක් ආ ගමන් මඟ...........
නොකියා තුරු හිසට ගිලිහුනු මලක් වගේ
උල්පත නිබද හැර යන දිය පොදක් වගේ
දුර සිට හමාවිත් සැඟවෙන සුළඟ වගේ
දිනයක නුඹ ගියා හදවත අරන් මගේ
රැඳුනත් මොහොතකට ගිරි හිස දැවටීලා
වලා රොදක් යයි සුළඟක පැටලීලා
නිම්නය සොඳුරු මුත් කිසිදින නැවතීලා
සිටි නදියක් වේද සමුදුර මගහැරලා
වෙන් වෙනු දැන දැනම මොහොතක් හමුවීලා
දහසක් වදන් ගොළු කර නෙත් මගහැරලා
හිත් හිත් රිදවමින් හදවත් රවටාලා
උන්නා මදිද දැන් අපි යමු වෙන්වීලා
පුතුගේ නමට හෙලු කඳුළෙන් තෙමුණු ලයෙන්
තවමත් දැනේ එසුවඳ හැරි කිරට ලෙයින්
හද ඇවිලෙනා ගිනි නිම නැත පුතුණි සොවින්
හෙට හිරු පායා ද අහසේ නැගෙනහිරින්
වසත් සමයේ මල් උයනකි ගිනි වැදුණූ
දහසක් පැතුම් බොඳ විණි කඳුළින් තෙමුණු
දෙවියනි කොතැනකද දුක නැසී රැඳුණු
දෙනු මැන යළි මපුතු නැත සැනසෙන්නට කරුණු
ලක් මව සිරස සැරසූ තරු වළල්ලෙන්
නුඹ ගිලිහුණා නොකියා එක ඇසිල්ලෙන්
මතකය රැඳී නිබදව ඇහි පියල්ලෙන්
වට කඳුළෙන් පිරේ සයුරත් තැවිල්ලෙන්
ඉවත බැලූවත් නෙතු යුග සිත යයි පසුපස්සේ
මුවින් නොකීවත් සෙනෙහස ලියලයි හද මත්තේ
සසර පුරුද්දක්ම ද මෙය කිම පිළිතුරු නැත්තේ
රිදවන සිත ඔබටම බව කිම අදහන් නැත්තේ
නිහඬ බසින් දොඩමළු වන හදවත අග්ගිස්සේ
නුඹ නොදුටුව කඳුළක් ඇත බොහෝ කලක් තිස්සේ
හිනැහී ලොවටම රහසින් හඬනා ලය මත්තේ
මතකය ඇති අරන් යන්න රිදුම් දෙවන සිත් සේ
ඇගේ සිහින පාට කරන ඔය අතැඟිලි මත්තේ
මගෙ සිහින පොඩි වී යයි එහි සැකයක් නැත්තේ
ගැරහුම් කුමකට මෙතරම් රිදවන හැම තිස්සේ
යළිත් නොඑමි කිසිදු දිනෙක නුඹගේ පසු පස්සේ
නොම දැන ආමි ඔය පියවර පිටුපස්සේ
දුටුවෙමි සිහින නොනිදා තුන් කල් තිස්සේ
පැතුමන් බිඳුනු දා මගෙ නෙතු අග්ගිස්සේ
රැදි කඳුළෙනුයි නුවරට මහ වැසි වැස්සේ
ඇගේ රුව ඇඳුණු ඔය නෙතු කැල්මක දැවටී
කුමකට සොයන්නද මට ඉඩ ඇති ද නැතී
පුදසුනකට නොයා පර වුණු මලක පෙතී
දවසක කියයි රිදුමන් දුන් හදක හැටි
එක අහසකට කුමකට දෙසඳක් පායා
බැස යමි රහසින්ම සලකුණකුදු නොතියා
පය පැකිළුනද ඉකිලන හදවත කකියා
දෛවය මෙයයි ලියැවුණු නළලත රිදවා
බැස ආවොතින් සඳ පොළවට සඳක් නොවේ
තරු පිරුණාට එය අහසට බරක් නොවේ
දෙමංසලක අප හමුවී පලක් නොවේ
එනමුත් ඔබේ මතකය මට දුකක් නොවේ
හද නවතනා එක බැල්මෙන් නෙතු යාවී
කළ කී කතා ලොවටම රහසක් වේවී
පමා වෙලා හමුවී සසරේ පේවී
ගොළු වූ පෙමත් හෙට දින අන්සතු වේවී
ගිනි පුලිඟුවක් තැබූ ලෙස හදවත මැද්දේ
දුන්නත් රිදුම් මතකය සුවඳකි මහදේ
පෙම නැහැ අසම්මත ලොව කීවත් එලෙසේ
සොඳුරිය නුඹයි මේ ලොව මා සතු සැම දේ
එක පන්තියේ කෙරුවෙමි අකුරින් අකුර
පෙම් තුර වැඩුනි ලියලා එහි අතු පතර
මගෙ නෙතු පසුකරන් වී ඔහු ළඟ නතර
සෙව් පෙම හමුවීද මිතුරියේ හැඟුම්බර
සුදු අරලියා මල් විදු පියසෙහි වැටුනු
සඟවා තිබුණි නිල් තණ පලසක කඳුළු
දැක දැක අහිමි බව විඳවා කල් ගෙවුණු
යුගයක් නිමාවිය පාසැල් වියේ සොඳුරු
කොළ ටයි පටිය හැඩ කළ සුදු පැහැ ගවොම
ලැම මත දග කෙරූ දිගු වරලසෙ මහිම
නෙතගින් සිනා සී බැලු බැල්මක තරම
නැත තව අමතකව සිත රිදවයි බොහොම
අද ලොව දිනා රැජිණක් නැති අසුන අරා
දුහුවිලි වැකුණු පොළොවක නුඹ යනෙනු බලා
දිගු කළ නොහැකි දෑතින් හදවතම ඉරා
හඩනා තරම නුඹ නොදනී වසුන්දරා
ගිලිහෙනු දැන දැනම අල්ලා ගත් අතක
උණුසුම තව දැනේ මගෙ හදවත කොණක
මතකය අත වනයි හිද ඈතින් රැයක
කදුළක දිය කරමි සෙනෙහස උපන් සිත
උරහිස තෙමූ නුඹෙ ඒ කදුළක සුවද
තවමත් දැනේ නොම මියැදුණු පෙම් සිතට
සද ළග දිලෙන නුඹ තරුවක් ලෙස රුවට
දුර හිද පෙම් බදිමි මිහිකත උරුම මට
සත් මහලක් ළග මට පැල්පතක් හිමි
කුමරියෙ සදළුතලයේ නුඹ රැදෙනු පෙනී
පිදුමට මිසක ලැබුමට හිමි කමක් නැතී
පෙම ගෙන සැගව යමි නෙත් මානයෙන් මැකී
https://www.facebook.com/100236938464570/posts/301851118303150/
විල් තෙර නිල්ල (7 කොටස)
තැනින් තැන උස්ව මතු වූ ගල්පරයන්හි හැපී සුදු පෙණ පිඬු නංවමින් ගං දිය බැස ගියේ මහා කලබලයකිනි. හති දමමින් දුවන්නාක් මෙන් ගලා යන ගං දියෙන් ශබ්දයක් නැඟිණි. නැග එන හිරු කිරණ පොළොවට පතිත වුයේ මීදුම අතරිනි. එම මීදුම අතරින් අනෙක් පස ගං ඉවුරට සෙවනැළි සේ ඇදෙමින් සිටියේ මුව රංචුවකි. ඉවුරට පැමිණි හොඳින් වැඩුණු මුවෙකු දියට මුව නොතබා වඩාත් විමසිල්ලෙන් අවට පිරික්සීය. නිදහසේ තණ බුදිමින් ඒ මේ අත සරණ මුව රංචුව මනස්කාන්ත දසුනක් විය.
ගං දියට නැමුණු අත්තකින් ගිලිහුණු මලක් කැරකැවෙමින් ගං දිය හා වේගයෙන් පහලට ගසාගෙන යන්නට විය. ලොවම අමතක වුවාක් මෙන් වීර් බලා සිටියේ සොබා දහමේ සුන්දරත්වයෙන් වශීව යමිනි.
එක්වරම පිටුපසින් පැමිණ දෑත් යවා කළ සියුමැලි ද ගැන්මකින් වීර් තිගැස්සී ගියේය. ඉනික්බිතිව ඔහුට ඇසුණේ සිහින් කෙඳිරියකි. තමාව වැළද ගනු ලැබූ දෑත් සෙමින් ලිහිල්ව යනු ද වීර්ට දැනිණි. තරමක ආයාසයකින් ආපසු හැරුණු වීර්ගේ දෙඅතෙහි රැඳුනේ විසංඥව යමින් සිටි සුන්දර තරුණියකි. ඇගේ මුහුණ කිසියම් දැඩි වේදනාවකින් සුදුමැලිව තිබුණ ද ඇගේ සුන්දරත්වය එයින් යටපත් නොවිණි. තරුණිය ඔසවා ගැනුණු වීර්ගේ දෙඅතට දැනුණේ තෙත් බවකි. ඒ සමගම ඔහුගේ අතෙහි ගැටුණේ ඇගේ පිටෙහි ඇමිණී තිබූ ඊතලයකි. තරුණියගේ හිස පසෙකට කඩා වැටෙත්ම වීර්ට කෑ ගැසිණි.
තිගැස්සී අවදි වූ වීර් ඇඳ මත හිඳ ගත්තේය. ඔහුගේ සිරුර පුරා දහඩිය ගලමින් තිබිණි. ඇඳ අසලින්ම වූ කුඩා මේසය මත තබා තිබූ ජල බඳුන ගත් වීර් එය එක හුස්මට පානය කළේය. දෙපා පහතට දවා ඇඳ මත සිඳගත් වීර් හිස දෙඅතෙහි රුවා යලි කල්පනා කරන්නට විය.
'එතකොට ඒක හීනයක්ද?'
යළි ඇඳෙන් නැගී සිටි වීර් කාමරය තුළ සක්මන් කරන්නව වූයේ පහව නොගිය කැළඹීමෙනි. නින්ද යලි අසලකටවත් නොඑන බව පසක් කරගත් වීර් දොර හැර සඳළු තලයට පිවිසියේය.
සඳෙන් පායා තිබුණේ හරි අඩකි. එහි පාළුව මකන්නට මෙන් කවරදාටත් වඩා එළිය දෙමින් තරු දැල්වෙනු වීර්ට පෙනිණි. තුරු හිස්වලට මුදුනින් කණාමැදිරි එළි රැසක් සේ දිස් වන්නේ දිවා සේවකයන් යොදවා තම පියා විසින් තමා වෙනුවෙන් ඉදිකරවනු ලබන තෙමහල් මන්දිරයෙහි දල්වන ලද විලක්කු බව වීර් හඳුනා ගත්තේය.
විසල් මන්දිරයක් තනා තමා හට සුදුසු සහකාරියක ඉක්මනින් සොයා දීම පියාගේ අරමුණව ඇති බව වීර් දැන සිටියේය. රාජ්‍ය පරිපාලනය තුළ ඉහළ තනතුරු වලට හිමිකම් කියුවන් කිහිප දෙනෙකුගේම දියණියන් පිළිබදව තම පියා අවධානයෙන් පසු වූ බව වීර්ට රහසක් නොවිණි. සුදුසු තරුණියක යෝජනා කොට තබා රන්ගිරෙහි පූජාවෙන් පසුව විවාහය සිදු කිරීම පියාගේ අරමුණ වූ බව ද වීර් දැන සිටියේය. නොගැලපෙන තරුණියක හා ඇසුරක් ඇති වෙතැයි බියක් ඔහුගේ සිතෙහි වන බවද වීර්ට හැඟී ගොස් තිබිණි. එමෙන්ම මේ සා කලබලව තමාට සුදුසු සහකාරියක සොයන්නේ කිසියම් දෛවඥයකු විසින් පල කළ අනාවැකියක් නිසා බැව් වී දැන ගත්තේ තම මව වෙතිනි. එහෙත් දෛවඥයා පවසා තිබුණේ කුමක් ද යන්න පිළිබඳව ඇයි ද හරියාකාරව දැන සිටියේ නැත.
සිහිනයක් ලෙසින් වුව පැමිණි තම සිත කැළඹ වූ තරුණිය පිළිබදව වීර් නැවත කල්පනාවට වැටිණි. එය හුදෙක් සිහිනයක් පමණක්ම ද එසේ නොමැති නම් එවැනි තරුණියක සැබවින්ම සිටිය හැකි ද? එසේ නම් ඇය සොය ගන්නේ කෙලෙසක ද? පිළිතුරක් නොමැති ප්‍රශ්න රැසක වීර්ගේ සිත පැටලෙන්නට විය.
https://www.facebook.com/100236938464570/posts/301839311637664/
ඉඳුවර සිහින (10 කොටස)
තමා පෙර දින ගෙවුයේ ජීවිතයේ උදාවූ දිගුම රැය යැයි කාව්‍යාට සිතුණි. රාත්‍රියෙහි කී වරක් නම් අවදි වුවාද? උදෑසන එළඹෙන තෙක් ඇය සිටියේ මහත් වූ නොඉවසිල්ලෙනි. කාව්‍යා රැකියාව සඳහා පිටත්ව යන මුල්ම දිනය එළඹ තිබිණි. කාව්‍යා මීට පෙර සාරිය හැඳ තිබුණේ දෙතුන් වතාවක් පමණි. ඒ ද මවගේ උදව්වෙනි. එනිසා පෙරදින හවස ඇය කීපවතාවක්ම තනිව සාරිය හැඳ පුරුදු වූවාය. රැකියාවට යාම සඳහා ඇය සියලු කටයුතු පෙර දිනයේම පිළියෙල කොට අවසන් කළාය. පිළිවෙලකට නවා පසෙක තබා තිබූ ලා රෝස පැහැ සාරිය මුහුණට ළං කොට එහි නැවුම් සුවඳ කාව්‍යා විඳ ගත්තේ ආශාවෙනි.
සාරිය හැඳ ගත් කාව්‍යා කැඩපත ඉදිරියට වී තම රුවෙහි සුන්දරත්වය රස වින්දාය. සාරියෙහි වූ රෝස පැහැ වර්ණය සිරුරට උරා ගත්තා මෙන් කාව්‍යාට පෙනිණි. තනි කරලකට වන්නට ගොතා ලැම හරහා දමා සිටි කොණ්ඩය කාව්‍යා නැවත වරක් පිටු පසට දමුවාය "උඹ නම් හරියට හින්දි කිළියක් වගේ" තම යෙහෙළියන් පවසන වදන් කාව්‍යාට සිහිපත් වූයේ දෙතොලට ආඩම්බරය මුසු සිහින් සිනහාවක් ද නංවමිනි.
කාව්‍යා කැඩපතට වඩාත් මුහුණ ළං කළාය. රුව වඩන ආලේපන හැකිව වුවද තමා ලස්සන යැයි කාව්‍යාට සිතිණි. ඕනෑම අයෙක් ආකර්ෂණය කර ගැන්මට සමත් දෙනෙත, සිහින් නැහැය. රෝස පැහැ දෙතොල් දිගටි මුහුණ කාව්‍යාගේ නිරීක්ෂණයට හසු විය.
අවසන් වරටත් කාව්‍යා කැඩපත ඉදිරියෙහි හිඳ හැඩ බැලුවාය. වඩා උස් හෝ මිටි නොවූ සිහින් සිරුරෙහි හැඩය සාරිය හැඳගත් පසු වඩාත් කැපී පෙනෙන අයුරු කාව්‍යාට පෙනිණි.
අකමැත්තෙන් වුවද කාව්‍යා කැඩපත අසලින් ඈත් වූයේ රැකියාවට යාමට ප්‍රමාද වේ යැයි සිතුනු බැවිනි.
ජීවිතයේ නව පිටුවක් පෙරළී ඇතැයි කාව්‍යා සිතුවාය. තමා සිතන තරම් දෛවය අකාරුණික නොවෙතැයි කාව්‍යා සිහිපත් කළේ සිත කොනකින් මෝදු වන සිහින් සතුටක් ද සමඟිනි. කල්ප අයියාද කෙමෙන් සුවය ලබමින් සිටී. නිවස වසා සිටි අඳුර කෙමෙන් පලා යන බව ඇයට දැනිණි.
උදෑසනම සුදානම් වූ ඇය පළමුව බුදුන් වැන්දාය. මව විසින් ආහාර වශයෙන් කිරිබත් පිළියෙළ කොට තිබුණේ විශේෂයෙන් කාව්‍යා වෙනුවෙනි. කාව්‍යා පිළිවෙලින් මවටත් මාමාටත් අයියාටත් දණ ගසා වැන්දාය. නිවසින් පිට වන විට ඇගේ නෙත ගැටුණේ සමන් පිච්ච මල් දැමු දිය පිරි බඳුනකි.
කල්පට සිය නැගණිය පිළිබඳ ඇති වූයේ ආඩම්බරයකි. කාලය ගෙවී ගොස් ඇත්තේ සැමට රහසින් යැයි කල්පට සිතිණි. වැටි වැටී තමා පිටු පසින් ඇවිද ආ තමා හා එක්ව වැලි සෙල්ලම් බත් ඉවූ කුඩා නැගණිය අද දින වන විට සොඳුරු යෞවනියක බවට පත්ව හමාරය. එය මේ තරම් දැඩිව තමාට දැනුණු දිනයක් පෙර නොවූ බව කල්පට සිතිණි. ධනවත් පවුලක උපත ලැබුවා නම් තම නැගණියට රැජිනක සේ හිඳින්නට ඉඩ තිබුණා නොවේ දැයි කල්ප කල්පනා කළේය.
සමාජයෙහි අසන්නට දකින්නට සිදුවන දෑ සලකන කල තම නැගණියගේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව කල්පට සිතිණි. සුපුරුදු කෙළිලොල් විලාසයෙන් මිදුලට බැස තමාට අත වැනු නැගණියට කල්ප පෙරලා අත වැනුයේ එකී සිතිවිලි අතර සිරවී හිඳිමිනි.
ඈත නොපෙනී යන තම දියණිය දෙස සුමනා බලා සිටියේ ආඩම්බර මුසු සතුටිනි. රුවැති දුවක් සිටින සෑම මවකටම මෙවැනි හැඟීමක් ඉපදීම ස්වාභාවිකයි යැයි සුමනා සිතුවාය. එහෙත් නුදුරු අනාගතයේදී ඇය විවාහ වී පිටව ගිය පසු තම නිවස පාළුවෙන් වෙළී යනු ඇතැයි යන හැඟීම සුමනාට ගෙන ආවේ වේදනාවකි. තම ආදරණීය ස්වාමියාගේ අකල් වියෝගයෙන් පසු ඇගේ මුලු ලෝකයම වුයේ දරු දෙදෙනාය. දිනෙන් දින ඔවුන් වැඩෙනු බලා ඇය ශෝකය, තනිකම සිතින් පලවා හැරියාය. කල්පට පියාගේ රුව මෙන්ම ගති ගුණ ද ඒ ලෙසම පිහිටා ඇතැයි සුමනා සිහි කළේ මිය ගිය සිය සැමියා පිළිබඳව ගෞරවණීය හැඟීමෙනි. දියණිය ද රුවින් ජයසිරිට සමාන වුවත් පැහැයෙන් ඇය තමාට සමාන යැයි සුමනා සන්සන්දනය කළාය.
සිය පුතු මුහුණ දුන් ඛේදනීය අත්දැකීම සුමනාගේ මුළු ලෝකයම දෙදරුම් කැවීමට සමත් විය. තමා මැවූ සිහිනයන් සියල්ල දෙපා මුල සුනු විසුණු වී ගියේ යැයි ඇය කම්පා වූවාය. එහෙත් කාලය විසින් ඇයගේ ජීවිතයට නැවත සැනසිල්ල ළඟා කරමින් තිබිණි. සුසුමකින් ලය සැහැල්ලු කරගත් සුමනා නිවස දෙසට හැරුණාය.
පාසල් මාවතට අවතීර්ණ වෙත්ම කාව්‍යාගේ සිතට දැනුනේ අමුතුම ආකාරයක සැහැල්ලුවකි. පරිසරයෙහි විශාල පරිවර්ථනයක් සිදුව නොමැති බව කාව්‍යාට පෙනිණි. පාසල් මාවතත් ඊට සමාන්තරව විහිදුණු දුම්රිය මාර්ගයත් අතර වූ පුරන් වූ වෙල් යාය එලෙසම තිබිණි. පාර දෙපස වූ උස්ව වැඩුණු තෘණ පඳුරු පෙර ලෙසම පිණි බිඳු වැටී බරව පාරට නැමී තිබිණි. තැනින් තැන වූ මැයි, ඇසල හා මාර ආදී ගස් සමහරක් තම අතු පතර තව තවත් පුළුල්ව විහිදා නැගී සිටිනු කාව්‍යාට පෙනිණි. පාසල පෙනෙන තෙක් මානයේ වූ කුඩා පාලම මතට පැමිණි කාව්‍යාට පෙනුණේ පසෙකින් වූ කුඩා පොකුණෙහි පිපී තිබෙන මානෙල් මල්ය. පරිසරය පවා තමාගේ පැමිණීම සතුටින් භාර ගන්නා බවක් කාව්‍යාට දැනිණි.
නැවත වරක් කාව්‍යා පාසල් මාවතේ සිසු සිසුවියන් රෑනකට මැදිව පියවර මැන්නාය. පෙර දිනක සිය යෙහෙළියන් පිරිවාගෙන උදේ සවස මේ මාවතේ පිය නැඟු අයුරු ඇයගේ මනසේ සිත්තම් විණි. දහස් ගණනකගේ පිය සටහන් මේ බිමේ ඇඳෙන්නට ඇත. එමෙන්ම මැකී යන්නට ද ඇත. කාලය ඉගිලී ගියද විදුහල් මෑණියන් පෙර සේම සිය තේජස පතුරවමින් විරාජමානව සිටියාය. ඒ බිම පෙර සේම තමන් ආදරයෙන් වැළඳ ගනු ඇතැයි ඇයට දැනුණි. වෙනසකට වූයේ පෙරදිනක පාසල් ශිෂ්‍යාවක වීමත් අද දින පුස්තකාල සහායිකාවක වශයෙන් පත්වීමක් ලැබ පැමිණීමත්ය.
https://www.facebook.com/100236938464570/posts/287978553023740/
විල් තෙර නිල්ල (6 කොටස)
මීරා අසු මෙහෙයවුයේ පවනට බඳු වේගයකිනි. කඳු හෙල් දිය ඇලි ගංගා හෝ මිටියාවත් වල පිපි නෙක සුවඳවත් වර්ණ පුෂ්පයන් හෝ ඇගේ දෙනෙතට ලක් වූයේ නැත. ඇගේ පූර්ණ අවධානය යොමුව පැවතියේ එක් අරමුණක් වෙතම පමණකි. අකමැත්තෙන් වුවත් වෙහෙසට පත් වූ අසුට විවේකයක් ලබා දීම සඳහා ඈ ගං තෙරක මඳ වේලාවක් නතර වූවාය.
ගල්තලාවෙහි හිඳගත් ඈ මසකට පමණ පෙරාතුව මහ ඇමති විසින් පවසන්නට යෙදුණු කරුණුත් ඔහු විසින් පෙන්වූ භූගත ගොඩනැගිල්ලෙහි වූ පොත් පත් හා නොයෙක් උපකරණ ආදිය පිළිබදවත් නැවත වාරයක් සිහිපත් කරන්නට වූවාය.
"හරිම පුදුමයි මිනිස්සු හඳටත් ගියාලු. ඊට වඩා ඈත තියෙන තරු ග්‍රහලෝක ගැන තොරතුරු හෙව්වලු. අහස උසට හදපු ගොඩනැගිලි තිබුණලු. මිනිස්සුන්ගේ වැඩ ලේසි කරන්න විදුලිය කියන දෙකින් ක්‍රියාත්මක වෙන උපකරණ තිබුණලු. මීට අවුරුදු හයසිය අනූ නවයකට කලින් තිබිලා තියෙන්නේ වෙනස්ම ලෝකයක්. මීට වඩා ගොඩාක් ගොඩබිම් තිබුණලු. මට නම් මේ කියන දේවල් හිතා ගන්නවත් බෑ."
"ඒත් මහ ඇමති කියන්නේ අපිට ආයෙමත් ඒ වගේම ලෝකයක් හදා ගන්න පුළුවන් කියලා. ඒකට තියෙන එකම බාධකය චන්ද්‍ර වංශිකයින් නම් අපිට ඔවුන්ව පරාද කරන්නම වෙනවා. ඔව්, මං සූර්ය වංශිකයින් වෙනුවෙන් ඒ යුතුකම් ඉටු කරනවාමයි."
යලිත් අසු වෙත ගිය මීරා උගේ පිට මතට නැගුණය.
මුල් දින සතරෙහි ඈ ගමන් කළේ සූර්ය දේශයට අයත් භූමි භාගය තුළය. එහිදී ඇයට විවේක ගැනීම සඳහා මහ ඇමති විසින් තැන් කිහිපයක් සූදානම් කර තිබිණි. පස්වන දිනයේ දහවල් වන විට චන්ද්‍ර දේශයේ දේශ සීමාව වෙත ලංවන්නට ඇයට හැකි විය. පසු දින එළිය වැටෙන්නට ප්‍රථම තම ගමනාන්තයට ලං වීම ඇගේ අරමුණ විණි.
සුර්ය හා චන්ද්‍ර දේශයන් එකිනෙක වෙන් කරමින් ක්ෂීර නදිය බැස යමින් තිබිණි. ගං ඉවුර තෙක් පැමිණි මීරා අසු පිටින් බැසගත්තාය. බොර පැහැ වතුරින් යුතුව වේගයෙන් ගලා යන ගංගාව දෙස මොහොතක් බලා සිටි ඇය අසු වෙත හැරුණාය.
" නීලම් ඔබ නැවත මාළිගය වෙත යන්න. "වෙළඹගේ ගෙල පිරිමැද උගේ පිටමත වූ කිසියම් පොදියක් ගත් මීරා එය තදින් තම පිටට තබා ගැට ගසා ගත්තාය. ඉන් පසු ඊයක වේගයෙන් ගං දියට පැන්නාය.
වේගවත් ජලකඳ හා තරඟ කරමින් ගල්පර මගහරිමින් අනෙක් ඉවුර වෙත පිහිනා යන්නට ඇයට දැඩි උත්සාහයක් දරන්නට සිදු විය. දෑත් දෙපා හිරිවට්ටවන තරම් සීතලෙන් යුතු වූ ගං දිය පරදවමින් ඉවුරට පිහිනා ගිය ඇය ගං ඉවුරෙහි වැතිර මොහොතක් වෙහෙස නිවා ගත්තාය.
චන්ද්‍ර දේශය වටා වූයේ ඝන වනයකි. වන තීරය සැතපුම් සතරක් හෝ පහක් පමණ පටු වූ ස්ථානයකින් එම දේශයට ඇතුළු වීමට මීරා තීරණය කළේ ඇගේ රහස් ඔත්තුකරුවකු ලබා දුන් තොරතුරු වලට අනුවය.
විඩා නිවමින් සිටි මීරා වනය තුළින් ඇසුණු කිසියම් ශබ්දයකින් කලබලව වහා ඉවුරෙහි වූ පඳුරු ගොන්නක් තුළ සැඟවුණාය. වනයෙන් පිටතට පැමිණියේ හෙල්ලක් අතින් ගත් මිනිසෙකි. වර්ණ සතරකින් රෙදි කැබලි සතරක් හෙල්ලෙහි ගැට ගසා තිබිණි. තම ඔත්තුකරුවා හඳුනා ගත් මීරා සැඟව සිටි තැනින් පිටතට පැමිණියාය.
මංගල ආපසු හැරී වනය තුළ නොපෙනී යන තෙක්ම මේග්නා බලා සිටියාය. මංගල දර්ශන පථයෙන් දුරස්වත්ම ඇයට දැනුණේ දැඩි තනිකමක් හා වේදනාවකි. සඳ එළියෙන් නැහැවෙන පරිසරය තුළ ඈ මඳ වේලාවක් නිහඬව නිසලව බලා සිටියාය.
" ගමට ඇතුළු වීමට නම් හෙට වන තෙක් බලා සිටින්නට මට සිදු වේවි. මෙහි ගම් නගර ගැන කිසිවක් නොදැන මා ගම්මුන් විමසන පැනයන්ට පිළිතුරු දෙන්නේ කෙසේද? මා පැමිණියේ කොහි සිට දැයි ඔවුන් විමසුව හොත්? කලින් සියල්ල සැලසුම් කරන්නට බැහැ. කුමක් හෝ මගක් පෑදේවි " සුසුමක් හෙළු මේග්නා විමසිල්ලෙන් වට පිට බැලුවාය.
වනය ආසන්නයේම අතුපතර විහිදා වැඩුණු විශාල වෘක්ෂයක් ඇයට දක්නට ලැබිණි. එම ගස අසලට ගිය ඇය පහතට නැමුණු අත්තක අධාරයෙන් ගසට නැඟ ගස් දෙබලක පහසු අයුරින් හිඳ ගත්තාය. ඇයට කණාමැදිරි එළි පෙනුනේ අහසින් බිමට බැස ඒ මේ අත පාවෙන තාරුකා මෙනි. සුපුරුදු වන සතුන්ගේ හඬ වුව මෙදින ඇගේ සිතේ ඇති කළේ නුහුරු බවකි. රැය කෙමෙන් කෙමෙන් මෝරන්නට වුව ද නින්ද සිටියේ ඇයට බොහෝ ඈතිනි. නිදි නොලබන දෙනෙත් අභියස සුමන තාපසයන්ගේ රුව ඇයට මැවී පෙනෙන්නට විය.
සඳ කෙමෙන් කෙමෙන් තම එළිය වැඩි කරවමින් දැල් වෙන්නට විය. නින්ද ද සෙමින් සෙමින් මේග්නාගේ ඇස් පිහාටු මතට බරවෙමින් තිබිණි. ඈ හිස පහසු ඉරියව්වක තබා ගැන්මට උත්සාහයක් දරුවාය. එහෙත් මද වේලාවකින් වනය තුළින් ඇසුණු ශබ්දයකින් ඈ අවදි වූවාය. වඩාත් ප්‍රවේශම් සහිතව ගසෙහි අත්ත මත හිඳ ගත් මේග්නා වනය තුළින් එන ශබ්දයට හොඳින් සවන් දුන්නාය.
වනය තුළින් පිටතට ඇදෙන දැවැන්ත හස්තියෙකු සඳ එළියෙන් ඇයට දකින්නට ලැබිණි.
"මංගල. නෑ, ඒ මංගල නෙවෙයි. '' ඈ තමාටම මුමුණා ගත්තාය.
අනෙක් තත්පරයේ මේග්නා පුදුමයට පත් කරමින් දැවැන්ත හස්තියාට පිටුපසින් එකා දෙන්නා බැගින් අලින් රංචුවක්ම වනයෙන් පිටතට ඇදෙන්නට විය.
" මේ තරම් විශාල අලි රංචුවක්? කොහේටද මුන් යන්නේ? ආහ් ගම පැත්තට හැරුණා නේද?"
අවසාන අලියා ද ගස පියමං කොට යන තෙක් ඈ නිහඬව නිසලව බලා සිටියාය. ඉන් පසුව අලි රංචුවට මඳක් ඈතින් පිටු පසින් සෙමින් ඇවිද යන්නට පටන් ගත්තාය.
ගමත් වනයත් අතර වූයේ කරලින් බර වූ කෙත් යායකි. අලි රංචුව කෙත් යාය හරහා ගමන් කළේ එයට කළ හැකි උපරිම විනාශය සිදු කරමිනි. හූ හඬට හෝ දැල් වූ ගිනි මැලවලට හෝ ඔවුන්ගේ ගමන අඩපණ කරන්නට හැකි වූයේ නැත. කුඹුරු යාය රැක ගැනීමේ අදහස අතහැර පැල් රකිමින් සිටි ගොවියෝ කිහිප දෙනා ගම් වැදුණේ ජීවිතාරක්ෂාව පතමිනි.
ගැමියන් පිටුපසින්ම වාගේ අලි රෑනද ගම් වැදිණි. කටු මැටි ගැසූ ඇතැම් නිවසක් අලින් විසින් කඩා බිඳ දැමුණේ වේ තුඹසක් පාගා දමන්නාක් මෙනි. නිවෙස් අතහැර ඒ වන විටත් ගැමියන් පලා ගොස් තිබෙන බව පෙනී යාම මෙග්නාගේ සිතට එක් කළේ සැනසීමකි.
නිවාස කඩා බිඳ දමමින් ගම මධ්‍යයේ නතරව අලින් කළබල කරන අතර වාරයේ මේග්නා ඔවුනට නොදැනෙන ලෙස ගමෙහි අනෙක් පසට පැමිණියාය. කුඩා දරුවකු වඩා ගත් ගැහැනියක් තවත් දරුවෙකු අතින් අල්ලා ගෙන දිව යනු මේග්නා දුටුවේ අහම්බෙනි. අතින් අල්වා ගෙන පැමිණි දරුවා පය පැකිලී වැටෙත්ම ගැහැනිය දරුවා නැගිටුවා ගැනීම සඳහා මොහොතකට නතර වූවාය. ඊළඟ තත්ත්පරයේ ඇගේ මුවින් පිට වූයේ විලාපයකි. විලාප දෙමින් ගල් ගැසුනාක් මෙන් ගැහැනිය බලා සිටින දිශාවට මේග්නාගේ නෙත් යොමු විය. ගැහැනිය හා දරුවා වෙත දිව එන හස්තියා ඇයට සිහි ගැන්වූයේ කඳු මුදුනකින් පහතට පෙරලී එන විශාල ගල් කුලකි.
දිව යන්න යැයි ගැහැනියට කෑ ගසමින් දෙවරක් නොසිතාම මේග්නා දරුවා හා හස්තියා අතරට පැන්නාය. කිසිවෙකු දිව විත් දරුවා ඔසවා ගනු ඇයට ඡායාවක් සේ පෙනිණි. එහෙත් තවත් කිසිවක් සිතන්නට හෝ ඇයට අවස්ථාවක් නොලැබුණේ හස්තියා සොඬින් එල්ල කළ පහරින් ඇය පසෙකට විසි වී ගිය බැවිනි. වැටී සිටි ඇය වෙතට කෝපයෙන් පැමිණි හස්තියා ඇය පගා දමන්නට පාදය එසවීය.
"එපා.'' යැයි මහ හඬින් කෑ ගසමින් මේග්නා දෙනෙත පියා ගත්තාය.
මේග්නාගේ සිරුරේ ස්පර්ශ වන නොවන තරමටම පාදය පහත් කළ හස්තියා යලි එය ඉවතට ගත්තේය. ඉන්පසුව තීක්ෂණ බැල්මකින් අවට බැලූ හස්තියා සෙමෙන් ආපසු හැරී යන්නට විය.
සෙමෙන් දෙනෙත් හැර බැලූ මේග්නාට ආපසු හැරී යන හස්තියා දක්නට ලැබිණි. ඇය ගැහෙන ලමැදට අතක් තබා සැනසුම් සුසුමක් හෙළුවාය. මදක් ඈතට වී බලා සිටින ගැමියන් කිහිප දෙනෙකුම ඇයට සඳ එළියෙන් ඡායාවන් සේ පෙනිණි. එවිටම දිව ආ ගැහැනියක් ඇගේ දෙපා මුල වැඳ වැටුණාය.
" මගෙත්, දරුවෝ දෙන්නගේත් ජීවිත බේරලා දුන්නට ගොඩක් පින්. ඒ අලියා පවා ඔබට මෙල්ල උනා. ඇත්තටම ඔබ නම් මනුස්ස වේශයෙන් ආව චන්ද්‍ර දෙවියන්වත්ද?''
අපහසුවෙන් වැටී සිටි තැනින් නැගී සිටි මේග්නා තම දෙපා මුල හඬා වැටෙන ගැහැනියගේ දෙඋරින් අල්ලා එසවූවාය.
" නැහැ අක්කණ්ඩිය, මමත් මනුෂ්‍ය දුවක්. දරුවාට කරදරයක් වෙතැයි යන බියෙන් මා දෙවරක් නොසිතාම හස්තියා එන පෙරමඟට පැන්නා."
'' ඒ උනාට අලියා ඔබට මෙල්ල වුණා. අපි හිතුවෙම අලියා ඔබව පාගලා මරලා දායි කියලයි." එතැනට පැමිණි පිරිමි අයෙකු පැවසුවේය.
බිම වැටී සිටි දරුවා ඔහු ඔසවාගෙන සිටියේය.
'' අලි සේරම ආපහු කැලේට යනවා." කිසිවෙකු කෑ ගසා පවසනු මේග්නාට ඇසිණි
මේග්නා අතෙහි වැලමිට අසලින් වේදනාවක් දැනෙන්නට වූයෙන් එය පිරික්සා බැලුවාය. හස්තියා සොඬින් දුන් පහර නිසා ඇගේ මුළු සිරුරම රිදුම් දෙමින් තිබිණි.
" නංගිට තුවාල වෙලා නේද ? යමු අපේ ගෙදරට. මේග්නා දෙස බලා පැවසූ ගැහැනිය ඒ වන විට වෙනත් ගැහැනියක අත වූ කුඩා දරුවා ද ගෙන තුරුලු කර ගත්තාය.
ගැමියන්ගේ කුහුලින් බර දෙනෙත් මග හරිමින් මේග්නා ගැහැනිය හා පිරිමියා පිටුපසින් පිය මැන්නාය. එහෙත් ඒ වන විටත් අලි රෑනෙන් පීඩාවට පත් වූ ගැමියන්ගේ අඳෝනා විලාපයන් ගමේ
තැනින් තැන නැගෙනු ඇයට ඇසිණි.
https://m.facebook.com/story.php?story_fbid=288285916326337&id=100236938464570
ඉඳුවර සිහින (9 කොටස)
" මං කෙලින්ම මාතෘකාවට එන්නම්" නදීෂාගේ මව කතා කළේ සටනකට සැරසෙන්නාක් මෙනි.
'' අපේ දුව ඊයේ මෙහේ ඇවිත් තියෙනවා. අපේ දුවත් ඔය ළමයත් අතර තියන පළහිලව්වට අපේ මුදලාලි මහත්තයවත් මමවත් කොහෙත්ම කැමති නෑ. ඒක නිසා නදීෂාව ආයේ මෙහෙ ගෙන්න ගන්න එපා. ''
කාව්‍යා යමක් පැවසීමට සැරසෙනු දුටු කල්ප ඇයට නිහඬ වන ලෙස සංඥා කළේය.
'' අපේ දුවට ගැළපෙන කෙනෙක්ව අපි හොයලා ඉවරයි. තමන් දැනගන්න ඕනේ තමන්ගේ තරමට කටයුතු කරන්න. මං මේ බොහෝම ඉවසීමෙන් කතා කළේ. ආයේ මේ ගැන කතා කරන්න ඉඩ තියන්න එපා." යනුවෙන් අනතුරු ඇඟ වූ නදීෂාගේ මව නිවසින් එළියට බැස්සාය.
නදීෂාගේ මව පිටව යනු කාව්‍යා බලා සිටියේ කෝපයෙනි.
'' අයියා මොකද ඒ ගෑනි කියපු සේරම ගොළුවෙක් වගේ අහගෙන හිටියේ.
? ඔයාට කතා කරන්න බැරි නම් මට කතා කරන්න දෙන්න ඕනේ. අපේ ගෙදරට ඇවිත් අපිටම ආඩම්බර පෙන්නලා ගියා.''
"මට නම් තේරෙන්නේ නෑ පුතේ ඔයා මේ මොනව කරන්න හදනවාද කියලා. අර ගෑනු ළමයා ඊයේ මෙහේ ආපු වගක්වත් මේ වෙනකම් මං දැනගෙන හිටියේ නෑ. ඔය සම්බන්ධ අත ඇරලා දාන්න පුතේ. අපිට ඔය ලොකු අතු අල්ලන්න ඕනේ නෑ '' සුමනා සිය පුතුට පැවසුවේ වේදනාවෙනි.
නදීෂාගේ මව කෙරෙහි කල්පගේ සිතෙහි තරහක් උපන්නේ නැත. සෑම මවක්ම පියෙක්ම ප්‍රර්ථනා කරන්නේ දරුවන්ගේ යහපතය. එහෙත් සමහර විටෙක සතුට යනුවෙන් ඔවුන් අදහස් කරන දෙය දරුවන් සතුට ලෙස නොදකින්නට පුළුවන. කෙසේ වුව ද තමන් දන් සිටින තත්ත්වය සලකන කල නදීෂා තව දුරටත් තමන් වෙතම රඳවා ගන්නට උත්සහ දැරීම සැබෑ ආදරය නොවේ යැයි කල්ප සිතුවේය.
එම සති අන්තයේ රොෂාන්ට පැමිණෙන්නැයි පණිවිඩයක් යැවූ කල්ප ඔහු එනතුරු බලා සිටියේ නදිශා සම්බන්ධයෙන් තමා ගත් තීරණය ඔහුට දැනුම් දෙන්නටය. තමා නදීෂා පිළිබඳව සිය ඇති කර ගත් දා පටන් නිබඳව සහය දෙමින් ලඟින් හුන් මිතුරාට එහි ආදරයේ අවසානයද නොසඟවා පැවසිය යුතු යැයි කල්ප සිතුවේය.
" මම නම් ඔය තීරණයට කොහෙත්ම කැමති නෑ කල්ප." සියල්ල අසා සිටි රොෂාන් පැවසුවේ කල්ප පිළිබඳ උපන් අනුකම්පාවෙති.
" ඒත් මීට වඩා ගන්න තීරණයක් ඉතුරු වෙලා නැහැ බං"
" මට පේන්නේ උඹ ප්‍රශ්න වලින් පැනලා දුවනවා කියලයි."
" මේ රෝද පුටුවට වෙලා ඉන්න මං වෙන මොනවා කරන්නද?"
"උඹ හැමදාම ඔහොම ඉන්නෙ නැහැනේ."
" ඒත් මට තව සනීප වෙන්න කොච්චර කල් යයිද කියලා කව්ද දන්නේ. ඒ වෙනකම් බලා ඉන්න කියලා නදීෂාට කියන්න තරම් මම ආත්මාර්ථකාමී නෑ. එයා මට අවංකව ආදරේ නම් බලා ඉඳීවි මං වෙනුවෙන්."
'' ඒ කියන්නේ උඹව අමතක කරන්න නදීට කිව්වත් එයා උඹව අමතක නොකරාවි කියලා බලාපොරොත්තුව හිතේ කොනක තියෙනවා එහෙම නේද? ''
" අවුරුදු ගාණක් තිස්සේ හිතේ ලියලපු බලාපොරොත්තුවක් එහෙම් පිටින්ම ගලවලා විසි කරන්න ආමාරුයි රොෂාන්." කල්ප පිළිතුරු දුන්නේ මඳක් නිහඬව සිටිමෙන් පසුවය.
"මම ඇත්තම කියන්නද කල්ප.'' උඹ මේ වෙලාවේ හදන්නේ නදීෂාගේ ආදරේ ඇත්තද කියලා පරීක්ෂණයක් කරන්නයි."
'' මේ වෙලාවේ මගේ ඔලුව අවුල් කරන්න එපා රොෂාන්. කොහොම වුණත් මම උත්සාහ කරනවා නදීව අමතක කරන්න. "
" ඒක කරන්න පුලුවන් වෙයි කියලා හිතනවාද කල්ප? "
" ගෙදරට වෙලා හිරකාරයෙක් වගේ ඉත්ත මට වෙනදාටත් වඩා නදීව මතක් වෙනවා. නදී මගේ ළඟ ඉන්නවා නම් කියලා හිතෙනවා. "
" මට උඹ ගැන දුකයි කල්ප. " රොෂාන් පැවසුවේ හදවතින්මය,
" අපිට උත්තර හොයන්න බැරි ප්‍රශ්න ගොඩකට කාලය විසඳුම් හොයලා දෙනවා රොෂාන්, මාත් කාලයට ඉඩ දීලා බලා ඉන්නවා ."
" දැන් මම මොනව ද උඹ වෙනුවෙන් කරන්න ඕනේ?"
"කොහොම හරි මේ ලියුම නදීට ලැබෙන්න සලස්වපං." දින පොත තුළින් ගත් ලිපියක් රොෂාන් අත තබමින් කල්ප පැවසුවේය.
"දැන් මොනවද මෙකේ ලියලා තියෙන්නේ.''
"මාවඅමතක කරන්න කියලා. "
" ඒ කියන්නේ උඹ ලියපු පළවෙනි ලියුම වගේම අන්තිම ලියුමක් ගෙනියන්න වෙලා තියෙන්නේ මටයි. " රොෂාන් පැවසුවේ කල්ප දුන් ලිපිය අතට ගනිමිනි.
කල්පගේ කාමරයෙන් පිටතට පැමිණෙන රොෂාන්ගේ නෙත ගැටුණේ කාමරයේ දොර අසළ රැඳී සිටින කාව්‍යාය.
" රොෂාන් අයියේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ." කාව්‍යා පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි.
මදක් ඈත් කළ දොර රෙද්ද තුළින් රොෂාන් දුටුවේ දෑත් මත හිස රඳවා හිඳින කල්පය. සෙමෙන් දොර රෙද්ද අත්හල රොෂාන් කාව්‍යා පිටු පස පියමැන්නේ කිසිවක් නොවිමසාය.
මිදුලේ නවතා තිබූ රොෂාන්ගේ රිය අසල නැවතුණු කාව්‍යා මඳක් නිහඬව සිටියේ දෙගිඩියාවෙනි.
" නදීට ලියුම දෙන්න ඕනේමද අයියේ? " තමාගේ පැනයෙන් රොෂාන් මවිත වූ බව ඔහුගේ මුහුණින් කාව්‍යාට පෙනිණි.
'' මට සමාවෙන්න රොෂාන් අයියේ ඔයාලා කතා කළ දේවල් අහගෙන හිටියට. මං දන්නවා ඒක වැරදි වැඩක් කියලා. ඒක කළේ මගේ අයියට තියන ආදරේ නිසා."
" නංගි මොනවද කියන්න හදන්නෙ කියලා මට හිතා ගන්න බැහැ."
" අපේ අයියා මේ වෙලාවේ ඉන්නේ වැදගත් තීරණයක් ගන්න පුළුවන් මානසික තත්ත්වයක නෙමෙයි. ඔය ලියුම බලලා නදීෂා අයියා එක්ක තරහා වුණොත්. ''
" මට නංගී කියන දේ තේරනවා. ඒත් කල්පට මං කොහොමද බොරුවක් කරන්නෙ. "
" නදීෂා නැති වුණොත් අපේ අයියාට දරාගන්න බැරිවෙයි රොෂාන් අයියේ." කාව්‍යා පැවසුවේ අසරණවය.
"අපි බලමු කාව්‍යා නදීෂා ඇත්තටම කල්පට ආදරේ කළා නම් කල්ප මොනවා කිව්වත් මේ වේලාවේ එයාව තනි කරන එකක් නෑ." රොෂාන් පැවසුවේ කාව්‍යාගේ දෙනෙත මඟ හරිමිනි.
https://www.facebook.com/100236938464570/posts/283627066792222/
ඉඳුවර සිහින (8 කොටස)
"එන්න ගෙට " නදීෂාට හිඳගන්නට ඇරයුම් කළ කාව්‍යා නිවස තුළට ගියේ සිය සොයුරාට කතා කරන්නටය.
" අයියේ නදීෂා ඇවිල්ලා. "
කල්පගේ මුවෙහි ඇඳුණේ මවිතයකි. එමෙන්ම ඔහුගේ සිතෙහි හට ගත් ක්ෂණික සතුට තමාගෙන් වසන් කරන්නට වෙර දරනු කාව්‍යාට පෙනිණි.
කල්ප සාලයට පැමිණෙන විට නදීශා සිටියේ තැති ගත් නෙතිනි. කල්ප දුටු සැණින් ඇය අසුනෙන් නැගිට්ටාය.
''ඉඳගන්න නදී.''
තමාටත් නදීෂාටත් කතා කරන්න ඉඩ හරිමින් නැගණිය නදීෂාගේ යෙහෙළිය හා ගෙමිදුල දෙසට යනු දුටු කල්ප සිතින් ඇයට ස්තූති කළේය.
" ඇයි නදී ඔයා මේ වගේ ගමනක් ආවේ?"
" මං එන්න තිබුණේ මීට කලිනුයි. ඒත් මට එන්න විදියක් තිබුණේ නෑ. එදා මං ඔයා බලන්න හොස්පිට්ල් එකට ගියා කියලා දැනගෙන මට තාත්තා හොදටම බැන්නා. ඉංග්ලිස් ක්ලාස් යන්නත් ඉඩ දුන්නේ නෑ. ඔයාව මුණ ගැහෙන්න ඒවි කියලා හිතාගෙන. මං ඔයාට ආදරේ නැතුව නෙමෙයි කල්ප. මං ගෙදර හිරකාරියෙක් වෙලයි හිටියේ." නදීෂා හඬන්න පටන් ගත්තාය.
"අඬන්න එපා නදී. ඔයා අඬනවට එදා වගේම අදත් මං කැමති නෑ. ඔයා මාව බලන්න ආවේ නෑ කියලා මගේ තරහකුත් නෑ. මේ වගේ තත්ත්වයක ඉඳගෙන තවත් මට ආදරේ කරන්න කියලා මට කියන්න අයිතියකුත් නෑ."
"එහෙම කියන්න එපා කල්ප. ඔයා මොන තත්ත්වයක හිටියත් මං වෙනස් වෙන්නෑ. ඔයාව ඉක්මනට සනීප වෙන්න කියලා මං හැමදාම ප්‍රාර්ථනා කරනවා."
'' අද ඔයා කොහොමද මෙහෙ ආවෙ? "
'' අද මං ආවේ අපේ ලොකු අම්මාගේ දුවත් එක්ක. එයාගේ වෙඩින් එක ලබන සතියේ. මඟුල් ඇඳුම් මහන්න දීලා මේ ලඟ තැනකට. එතනට ආව ගමන් මම මෙහෙ ආවෙ. එයා ගෙදර ගිහින් කියන්නේ නෑ. අපේ සම්බන්ධය මම එයාට කියලා තියෙන්නේ.''
" ඒත් නදී මේ වගේ අවදානම් ගමන් එන්න එපා. අපි ඉන්නේ එකම ගමේ. ඔයාලගේ තාත්තාට ආරංචි වුණොත් එහෙම. ''
" එත් මං කොහොමද ඔයාව නොදැක ඉන්නෙ?"
" සමහර දේවල් කොයි තරම් අමාරු වුනත් අපට කරන්න සිද්ද වෙනවා නදී. දැන් ඔයා යන්න. ඔයා ගැන මගේ හිතේ තරහක් නෑ. "
නදීෂා දෝතින් මුහුණ වසාගෙන ඉකිබිඳ හැඬුවාය. පෙර දිනෙක මෙන් ඇගේ හිස අතගා සැනසිය යුතු යැයි ද ඇගේ කදුළු සුරතින් පිසදැමිය යුතු යැයි ද කල්පගේ සිත මුරගා කියන්නට විය. ඒ මොහොතේම නදීෂාගේ සොයුරිය කාව්‍යාත් සමග නිවසට ඇතුළු වූවාය.
" නංගි අපි දැන් යමුද?"
මොහොතක් නිහඬව සිටි නදීෂා අසුනින් නැගිට්ටාය.
'' මං ගිහින් එන්නම් කල්ප."
හැඬීමෙන් නදිෂාගේ දෙනෙත රතුවී තිබිණි. ඇගේ වදන් ඇසුණේ ඈත ලොවකින් ඇසෙන්නාක් සේ ඉතා සෙමෙනි. කුමක් කියම්දෝයි වටහා ගත නොහැකිව කල්ප නිහඬව සිටියේය.
නදීෂා නොපෙනී යනතුරු කල්ප මිදුලට වී බලා සිටියේය. නදීෂා වරින් වර හැරී බලනු කල්ප දුටුවේය. කෙමෙන් අඳුර පරිසරය වෙලා ගත්ත ද නිවස තුළට යන්නට කල්පට සිතුණේ නැත. අසනීප
වූ ඥාතියෙකු බැලීමට ගිය සිය මව පැමිණෙනු කල්ප දුටුවේ ඇය සමීපයට පැමිණි පසුවය.
" පුතා මොකද මේ කළුවරේ ඉන්නේ? යමු ගෙට."
"අම්මා යන්න. මං තව ටිකකින් එන්නම්."
සුමනා සිය පුතු පසු කොට නිවසට පිය මැන්නේ හදෙහි වූ වේදනාවන් සුසුමක් කොට වාතයට එක් කරමිනි.
නදීෂාගේ පැමිණීමෙන් පසු තම සොයුරා දැඩි කල්පනාවක නිමග්නව හිඳිනු කාව්‍යාට පෙනිණි. තම සොයුරා හා කතා කරන්නට සිත්විණි ද කාව්‍යා තම අදහස වෙනස් කොට ගත්තේ ඔහු හුදකලාව හිඳීමට වඩාත් කැමති වනු ඇතැයි යන හැඟීමෙනි. නදිශාගේ පැමිණීම ඔහුගේ සතුටට හේතු විණි ද එසේ නොමැති නම් සිතේ වේදනාව අලුත් වීමකට හේතුවිණි දැයි දැන ගන්නට කාව්‍යාට අවශ්‍ය විය. එහෙත් ඔහුගේ හැසිරීමෙන් කිසිවක් අවබෝධ කොට ගන්නට කාව්‍යා අසමත් වූවාය.
පෙර දින රැයෙහි මැදියමත් ඉක්ම යන තුරු කල්ප සිතමින් සිටියේ නදීෂා පිළිබඳවය. ඇගේ පැමිණීමත් සමග තමා අසීරුවෙන් එකලස් කර ගන්නට තැනු සිත සී සී කඩ විසිර යනු කල්පට දනුණි. තම ගතට වඩා රෝගී වී ඇත්තේ සිත යැයි කල්පට සිතිනි. සිය කාමරය තුළට ම වී සිටි කල්පට ඉන් පිටතට පැමිණීමටවත් සිත් දුන්නේ නැත.
'' පුතා අන්න නදීෂා ළමයාගේ අම්මා ඇවිත් ඉන්නවා පුතා හම්බවෙන්න "
ඒ වදනින් කල්ප තිගැස්සුණි. අනිවාර්යෙන්ම නදීෂා තම නිවසට පැමිණි පුවත ඇයට ආරංචි වන්නට ඇත. කල්පට නදීෂා පිළිබඳව ඇති වූයේ දුකකි. ඇයට කුමන තත්ත්වයකට මුහුණ පාන්නට සිදුව ඇතිද?
"අම්මා යං මං එන්නම්.''
නදීෂාගේ මවගේ මුහුණෙහි කිසිදු සුහදශීලි බවක් රැඳී තිබුණේ නැත. ඇයට කතා කරන්නට ඉඩ හැර කල්ප නිහඬව සිටියේ ය.
https://www.facebook.com/100236938464570/posts/273824021105860/
විල් තෙර නිල්ල (5 කොටස)
මංගලගේ පිටමතින් කෙරුණු ගමන සිදු වූයේ තරමක සෙමිනි. අසපුවෙන් පිටත් වන විට පරිසරයේ මද අඳුරක් රැදී තිබුණු නමුදු මේ වන විට ලා හිරු රැස් උස් තුරු මුදුනින් පෙරී එමින් තිබිණි. ගීතවත්ව තැනින් තැන නැගුණේ කුරුළු කිචි බිචිය. හමා ආ මඳ සුළගේ දැවටුණු සිසිලස නිසාම මේග්නා දෙඅත් පොරවා ගත්තාය. මෙතෙක් හැඳි මුව සමින් කළ දළ ඇඳුම වෙනුවට ලද සිනිඳු රෙදිපිළි තරමක නුහුරු සුව පහසු බවක් ඇගේ ගතට මෙන්ම සිතට දැනවීය. එම රෙදිපිළි තමා වෙනුවෙන් තම මව විසින් ප්‍රවේශම් සහිත ලෙන තුළ සඟවා තිබූ බව තවුසාණන් විසින් පැවසූ අයුරු ඇයට සිහිපත් විය.
තවුසාණන් සිහිවත්ම මේග්නාගේ සිතට දැනුණේ වේදනාවකි. පෙර දින රැයේ තාපසතුමන් විසින් පැවසූ දෑ ඇයට යලි යලිත් ඇසෙන්නට විය.
"දරුව මේ ගහ කොළ මේ වන සතුන් හා මේ මිහිමත ජීවත් වන සියලුම ප්‍රාණීන් ගලවා ගැනීමේ කර්තව්‍යයෙහි ඉතා වැදගත් කොටසක් ඉටු කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. හරියටම මීට වසර හයසිය අනූ නවයකට පෙර මිනිසාගේ ක්‍රියා කලාපයන් නිසාම මේ පෘථිවියෙන් අඩක්ම විනාශ වී ගියා. ගොඩබිම් වල පිහිටීම් පවා වෙනස් වුණා. එවැන්නක් යළි සිදු නොවීමට වග බලා ගැනීමේ වගකීමෙන් වැදගත් කොටසක් ඔබටත් ඉටු කිරීමට බාර වෙනවා. ''
" මේ මා එවැන්නක් කරන්නේ කෙලෙසක ද පියාණනි? '' මේග්නා තවුසා දෙස පුදුමයෙන් බැලුවාය.
"ඒ සඳහා ඔබට උපකාර වන්නන් ඔබට මුණ ගැසේවි., වැදගත්ම අවස්ථාවක දී මගේ ගුරුතුමාණන් ඔබේ සහායට ඉදිරිපත් වේවි."
''එහෙමයි පියාණනි. ''
මෙතෙක් සක්මනින් පසු වූ තවුසාණෝ සක්මන නවතා ගල්තලාව මත හිඳ ගත්තේය. ඔහු නැවත කතා කළේ දෙනෙත් පියා මද වේලාවක් නිහඬව සිටීමෙන් අනතුරුවය.
" ඔබතුමා වෙතින් වෙහෙසකාරී බවක් දිස්වනවා පියාණනි. අපි හෙට උදයේ කතා කරමු. තවුසාණන් තරමක වෙහෙසකාරී බවකින් පෙළෙනු දුටු මේග්නා පැවසුවාය. කරුණාබරිත දෙනෙතින් මේග්නා දෙස බැලූ තවුසාණෝ යළිදු කතා බහට මුල පිරීය.
'' ඔබ සිහි තබා ගත යුතු කරුණක් තිබෙනවා දරුව, ඔබ ඔබේ අරමුණට ළඟා වන තෙක් ඔබේ සැබෑ ස්වරූපයෙන් පෙනී සිටීම අනතුරුදායකයි. මා ඔබට දිව්‍යමය තෙල් බිඳක් පානය සඳහා ලබා දෙනවා. එයින් ඔබේ ශරීර වර්ණය වෙනස් වේවි."
'' ශරීර වර්ණය?" මේග්නා තම රන්වන් පැහැයෙන් දිදුලන සිරුර දෙස ලෝභී සිතුවිල්ලකින් බැලුවාය.
'' ඔව්. ඔබේ සිරුරේ පැහැය අඳුරු කළු පැහැයකට හැරේවි. එහෙත් ඔබ ඔබේ අරමුණ සාක්ෂාත් කරගන්නා අවස්ථාව වෙත කෙමෙන් කෙමෙන් ලං වන විට ඔබ දැන් සිටිනවාටත් වඩා සුන්දර රුවක් ඔබ සතු වේවි.”
තරමක අකමැත්තෙන් වුවත් ඈ තවුසාණන් හා එකඟ වෙමින් හිස සැලුවාය.
කිසිවක් මතුරමින් අහසට දිගු කළ සුමන තාපසයාණන්ගේ දෙඅත මත ඉතා කුඩා රන් බඳුනක් රැඳිණි. මේග්නා ඉතාම ගෞරවයෙන් තවුසා වෙතින් රන් බඳුන දෝත පා පිළිගත්තාය.
'' හෙට හිරු නැගී සිව් වැනි හෝරාවේ දී මෙහි ඇති තෙල් බිඳ අත්ලට ගෙන දිව ගාන්න. ඔබට ඒ වේලාව දන්වනු වස් වැසි නොමැතිව මහා හෙණ හඬක් අහසින් නැගෙනු ඇත.
'' එහෙමයි පියාණනි."
"මෙතැන් සිට යොදුන් හතලිහක දුරින් චෛත්‍යය කිහිපයක නටඹුන් ඔබට හමු වේවි. එමෙන්ම ශෛලමය බුදු පිළිම රැසක් ද ඒ ප්‍රදේශය පුරාම තැනින් තැන වැඩ හිඳිනු ඔබට දක්නට ලැබේවි. මේ විශ්වයේ පහල වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයනන් වන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන මලින් පුදා ආශිර්වාද ලබා ගැන්මට අමතක නොකරන්න. එමෙන්ම මා ඔබෙන් එකම එක ඉල්ලීමක් කරනවා දරුවා."
'' ඒ කුමක්ද පියාණනි? ඔබ වෙනුවෙන් මට මගේ ජීවිතය වුවද පූජා කළ හැකී. ''
"නුවණින් විමසා බලා කටයුතු කළ හොත් ඔබට සූර්ය චන්ද්‍ර දේශයන් දෙකෙහිම රැජිණ වීමට වාසනාව තිබෙනවා. එසේ වූ පසුව ඔබ විසින් කළ යුතු පළමු කාර්යය වන්නේ යොදුන් ගණනක ප්‍රදේශය පුරා තන් තන්හි පිහිටි චෛත්‍ය අතරින් විශාලම චෛත්‍ය පිළිසකර කරවා ඒ අසලින්ම ශෛලමය සමාධි පිළිම වහන්සේ නමක් තැන වීමය. "
"එසේය පියාණනි. මම ඔබතුමන්ගේ ඉල්ලීම එලෙසින්ම ඉටු කර දෙන බවට දිව්රා පොරොන්දු වෙමි. "
මහ හඬින් පුපුරා ගිය හෙණ හඬකින් මේග්නා තිගැස්සුනාය. එතරම් මහ හඬක් නැගුණ ද එය ඇසුණේ තමාට පමණක්ම බව ඈ ප්‍රත්‍යක්ෂ කොට ගත්තේ එම හඬින් කිසිදු වන සිව්පාවකු අඩුම තරමේ පක්ෂීන්ගෙන් හෝ කිසිදු බියපත් රාවයක් නොනැඟුණු බැවිනි. ඇය වහාම තවුසාණන් පැවසූ පරිදි රන් බදුනේ වූ තෙල් බිඳ අත්ලට ගෙන දිව ගෑවාය. ඒ හා සමගම සිරුර පුරා අධික ශීතලක් පැතිර යනු ඇයට දැනිණි. එහෙත් මද වේලාවකින් එකී සීතල බව පහව යනු ඇය අත් දුටුවාය.
" මංගල අපි යොදුන් ගණනක් දුර ආවා නොවේද ? '' මේග්නා ගසක අත්තක් බුදිමින් සිටි හස්තියාට පැවසුවේ සිතට දැනුණු හුදකලාව මකා ගැන්මේ අටියෙනි.
කල්පනාවක ගැලුණු මේග්නා තවත් මඳ දුරක් නිහඬවම පැමිණියාය.
" මංගල පෙර කිසිදු දිනක නොවූ අයුරින් තාපසතුමා කිසියම් වෙහෙසකින් පසු වූ බවක් මට දැනුණා. පිටතට නොපෙන්වූවාට එතුමා කිසියම් අසනීපයකින් පෙළුනාවත් දැයි දැන් හැගෙයි. අපි ආපසු එතුමා වෙත යමු. මංගල තවත් එක් වරක් හෝ එතුමන් දැක කතා කොට ආපසු පැමිණෙමු."
මංගල ඇගේ අණට කීකරු වෙමින් නිහඬම ආපසු හැරිණි. තවුසාණන් හිඳින ගල් ලෙන වෙත යෑමට මේග්නාගේ සිතෙහි වූයේ දැඩි නොඉවසිල්ලකි. ඇගේ ඒ හැඟීම තේරුම් ගත්තාක් මෙන් මංගල ආපසු ගමන් කළේ ද තරමක වේගයකිනි.
හිමිදිරි උදයේ සමුගන්නා අවස්ථාවේ තවුසාණන්ගේ දෙනෙතෙහි රැඳි කුළුණුබර බැල්මත් ශාන්ත විලාශයත් මේග්නාට මැවී පෙනෙන්නාක් මෙන් විය. තවුසාණන් වෙසෙන ගල්ලෙන පෙනෙන සීමාවේ රැදී සිටීම වෙනදා මංගලගේ ස්වභාවය වූ නමුදු මෙදින මංගල මේග්නා පිටමත හිඳුවාගෙන ලෙන සමීපයටම පැමිණියේය. මේග්නා මංගලගේ පිට මතින් බැස ගත්තේ පුදුමයෙනි. '' මංගල අප මේ පැමිණ ඇත්තේ නිවැරදි තැනටද? මට නම්
දැනෙන්නේ අපි වාසය කළ තැනම වැනිම වූ වෙනත් ස්ථානයකට
පැමිණ ඇති බවයි " ඇය කලබලයෙන් වටපිට බලන්නට වූවාය.
එක ගොන්නට හැදුණු කොහොඹ ගස් සතර, ලෙනට දකුණු පසින් තිබූ නා ගසත් එසේමයි. එහෙත් තවුසාණන් හා මා වාසය කළ ලෙන්වලට කුමක් සිදු වීද? දැන් මෙහි ඇත්තේ ගල් කුළු කිහිපයක් පමණී. තවුසාණන් සිටින බවක සලකුණක්වත් නැත.
මේග්නා අවට ඇවිදිමින් තාපසතුමන් සිටී දැයි විපරම් කොට බැලුවාය. නිසොල්මනේ බලා සිටින මංගල වෙත ඈ නැවත පැමිණියේ වෙහෙසට පත් ලීලාවෙනි.
'' මට දැන් තේරෙනවා මංගල. තාපසතුමා කියන්නේ බොහෝ ආධ්‍යාත්මික ශක්තියකින් යුත් අයෙක්. එතුමා මේ වන තෙක් හෝ මෙහි රැඳී සිටින්නට ඇත්තේ මා නිසාම විය යුතුයි. තාපසතුමා යලි කිසිදු දිනක මට මුණගැසෙන එකක් නැහැ. අපි ආපසු යමු මංගල." මේග්නා දෙනෙතට නැගි කඳුළු පිසිමින් මංගල දෙස බැලුවාය.
මංගල මේග්නාගේ අතක් සොඬින් පිරිමැද්දේය.
තම අත දෙස බැලූ ඇයට එහි පැහැය කෙමෙන් වෙනස් වී ගෙන යන අයුරක් දක්නට ලැබිණි. සුසුමක් හෙළු ඈ මංගල මත නැගුණාය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Gampaha
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |
Gampaha
Welcome to the Parakkrama Maha Vidyalaya (National School) Gampaha 2K19 Prefects Board Official Fac
Gampaha
Official page of හුස්ම මගේ නුඹ Novel උන්මාද සිතුවම් by Dil Perera
Gampaha
**Feel the Rhythm of heartiest words** කතා කියවන යහළුවන් යෙහෙළියන් පමණක් ඇඩ් වෙන්න
Gampaha
"..වසත් කල ඇඳහැලෙන ප්‍රථම වර්ශාව මිහිරි සේ එන්න හැඟුමින් නැහැවෙමු.."